Wednesday, December 18, 2019

Love Action Drama (2019) Sinhala Subtitle


ආයුබෝවේවා! ඔන්න මාස කිහිපයක නිහැඬියාවකින් පස්සේ ආපහු උපසිරැසියක් අරන් ආවා. මෙදා පොටේ උදය සමන් සහෝදරයත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. මලයාලම් රසිකයන් වෙනුවෙන් අරන් ආපු මේ සලරුව අයත් වන්නේ Romantic Comedy කැටගරියට. 2019 සැප්තැම්බර් 5 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය Dhyan Sreenivasan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරෙකු වන Nivin Pauly සමඟින් ඉන්දියානු සිනමාවම අණසකට ගත් ලේඩි සුපර්ස්ටාර් Nayanthara ගේ රංගණයෙන් හැඩ වන මේ සිනමා සිත්තමෙන් කියවෙන්නේ පොඩි කාලේ ඉඳන් හිතින් ආදර කරපු කෙනා විවාහ වෙලා යන දවසේ එයාගේ විවාහ උත්සවයට එන තරුණියකට පෙම් බඳින තරුණයෙක්ගේ කතාවක්. IMDb දර්ශකයේ 5.8 ක අගයක් ලබා තිබෙන මේ චිත්‍රපටයේ ලොකු කතාවක් නම් දැකගන්න නැහැ. සරළ කතාවක් තමයි දැක ගන්න පුලුවන් වෙන්නේ.

කතාව ගැන කිව්වොත් දිනේෂ් කියන තරුණයා පොඩි කාලේ ඉඳන් පෙම් බැඳපු ගෑණු ළමයා වෙන කෙනෙක්ව කසාද බඳින්නයි යන්නේ. ඒ නිසා සියදිවි හානි කරගන්න කියලා හිතාගෙන ඉන්න දිනේෂ්ට ආරංචි වෙනවා ගජරාමෙට විවාහ උත්සවය සිද්ද වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ දෙන්නටත් හොඳ පාඩමක් උගන්වලා සියදිවි හානි කරගන්නවා කියලා හිතාගෙන ඒ විවාහ උත්සවයට යාලුවත් එක්ක යනවා. හැබැයි පාඩමක් උගන්වන්න යන මෙයාට වැඩේ වරදිනවා. ඒ වැරැද්දෙන් තමයි ශෝබාව මුණගැහෙන්නේ. එතනින් එහාට ටික ටික හිත වෙනස් වෙන්න ගන්නවා. ඉන් පස්සේ ඉතින් ශෝබාව දැලේ දාගන්න තමයි දිනේෂ් උත්සහ කරන්නේ. දිනේෂ්ගේ බීමත්කමත් මේ පලහිලව්වට ලොකු බලපෑමක් කරනවා. ඉතින් දිනේෂ්ට ⁣ශෝබාව කැමති කරගන්න පුලුවන් වෙයිද කියලා බලන්න, චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

අවසාන වශයෙන් චිත්‍රපටය වෙන් කරලා දුන්න හසන්ත අයියාටත්, කරමුද කියලා අහපු ගමන් වැඩ ගොඩක් අස්සේ මේ වැඩේට සෙට් වුන උදය සමන් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. සබ් කරපු නැති මාස ටිකේ මගෑරුනු ෆිල්ම් ටිකක් තියෙනවා. ඒ ටිකේ උපසිරැසිත් එක්ක හමුවෙමු.  

ඔබට ජය!



මීට ගැළපෙන වීඩියෝ පිටපත 
Baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න.

Saturday, August 31, 2019

Dear Comrade (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


කොම්රේඩ් කියන්නේ මොකක්ද සීයේ?

ඔයාගෙ අයිතිය වෙනුවෙන් ඔයා සටන් කරන්න ඕන.

ඒක ඔයා ධෛර්යවන්තව ඉල්ලන්න ඕන.

ඒ වෙනුවෙන් ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඕන.
ඒක ලබාගැනීම වෙනුවෙන් ඔයාගේ ගමන් මාර්ගයේ ඇවිත් ඔයාට උදව් කරන කෙනාට තමයි කොම්රේඩ් කියන්නේ.


ආයුබෝවේවා! ඔන්න තවත් හැමෝම ආසාවෙන් බලන් හිටපු තෙලුගු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ඇමේසන් ප්‍රයිම්ලා ඩිජිටල් අයිතිය අරන් තිබ්බ වාසනාවට අපිටත් මෙච්චර ඉක්මනට චිත්‍රපටය බලන්න වාසනාව උදා වුනා. 😃 2019 ජූලි 26 තිරගත කිරීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Drama, Romance කියන කාණ්ඩ වලට. Bharath Kamma අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට යොදාගෙන තිබෙන්නේ මෑත කාලයේ වැඩිපුරම කතා බහ වෙන, කාන්තා පාර්ශවයේ නොමද ආකර්ශනය දිනා ගත් Vijay Devarakonda සමඟින් පිරිමි පාර්ශවයේ නොමද ආදරය දිනා ගත් සුරූපී, හුරුබුහුටි Rashmika Mandanna. අතිශය ජනාදරය දිනා ගත් Geetha Govindam චිත්‍රපටයේ හිටිය දෙන්නව මතක නැති වෙන්න විදිහක් නෑනේ. බලලා නැත්නම් අනිවා බලන්න. තෙලුගු වලින් නිකුත් කෙරුණු මේ චිත්‍රපටය දමිළ, මලයාලම් වගේම කන්නඩ වලිනුත් හඬකවමින් ප්‍රදර්ශනය කර තිබෙනවා. අපූරු ගීත ඇතුලත් මේ චිත්‍රපටයට සංගීතය මුසු කර තිබෙන්නේ Justin Prabhakaran විසින්. මේ වන විට IMDb දර්ශකයේ 7.1 ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය, සුපිරි හින්දි චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන Karan Johar විසින් හින්දි ප්‍රති නිර්මාණය කිරීමේ අයිතිය ලබාගෙන ඇති බවට සඳහන් වෙනවා.


දැන් කතාව ගැන බලමු. බොබී කියන්නේ ශිෂ්‍ය සංගමයක නායකයෙක්. නිතරම ශිෂ්‍යයන් වෙනුවෙන් කතා කරන මෙයාට තරහා පාළනය කරගන්න බැරි දෝෂයක් තියෙනවා. ඉතින් දවසක් කොලේජ් එකේ ගැහැණු ළමයෙක් ගාස්තු ගෙවා ගන්න බැරිව සියදිවි හානි කරගන්න ගිහින් කියන ආරංචියට පරිපාලනයට එරෙහිව විරෝධතාවයක් පවත්වනවා. හැබැයි පස්සේ දැනගන්නවා ⁣සියදිවි හානි කරගන්න ගිහින් තියෙන්නේ තරුණයෙක්ගේ කරදරයක් නිසා කියලා. ඒක අහපු ගමන් ඇති වුන තරහට ගිහින් ඒ තරුණයා ඇතුලු පිරිසට ගහනවා. ඒ අතරතුරේ පොලිසිය ඇවිත් බොබීවයි යාලුවෝ ටිකයි අරන් යනවා. ඉතින් පොලිසි ගිහින් යාලුවෙක් එක්ක බයික් එකේ එනකොට එකපාරම මුහුණට මුහුණ බස් එකක් එනවා. ඒක මගාරින්න බයික් එක අයිනට ගන්නකොට ඒ පැත්තෙන් කෙල්ලෙක් එනවා. ඒ තමයි ලිලී. ඉතින් එයාවත් මගාරින්න තවත් අයිනට කරනකොට බයික් එක පෙරළෙනවා. ඔන්න ඔය විදිහට තමයි බොබී-ලිලී දෙන්නව මුණගැහෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි කතාව ආරම්භ වෙන්නේ.


ලිලී කියන්නේ පළාත් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවක්. ඒ ගැන බොබී එහෙම දැනගන්නෙත් අපූරු සිදුවීමකින්. ඉතින් කොහොම හරි මේ දෙන්නගේ අාදර කතාව ගලාගෙන යනකොට බොබීගේ ඉක්මන් කෝපය බොහෝසෙයින් ඒකට බලපෑම් ඇති කරනවා. ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ ලිලීට සිද්ද වෙන බලපෑමක් මුල් කරගෙන. සමස්ථයක් විදිහට ගත්තොත් කාන්තාවන්ට සිදු වන අයුතු බලපෑම් ගැන කතා කරලා තියෙන ආදර්ශමත් කතාවක් කියලා කියන්නත් පුලුවන්. ඒ වගේම සින්දු ටිකටත් උපසිරැසි ගන්වලා තියෙන්නේ  කියන එකත් අමතක කරන්න එපා. එහෙනම් මේ සලරුවත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරමින් අදට සමු ගන්නවා. 



තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!



Monday, August 19, 2019

Khamoshi (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! කාලෙකින් තමයි හින්දියකට සිංහල උපසිරැසි අරන් ආවේ. මේක  Horror, Thriller කාණ්ඩයට අයිති චිත්‍රපටයක්. ප්‍රධාන නළුවයි නිළිය ගැනයි ඉතින් ආය අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන නෑනේ. Prabhu Deva සමඟින් Tamannaah තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නේ. 2019 ජූනි 14 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  Chakri Toleti විසින්. මේ චිත්‍රපටය Kolaiyuthir Kaalam දමිළ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් වගේම ඒ දමිළ චිත්‍රපටය හදලා තියෙන්නෙත් Hush කියන ඉංග්‍රීසි චිත්‍රපටය මුල් කරගෙන. ට්‍රේලරයට හොඳ ප්‍රතිචාර තිබ්බත් චිත්‍රපටයට නම් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ. සාමාන්‍ය හින්දි චිත්‍රපටයකට වඩා වෙනස් කිව්වොත් නිවැරදියි. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටයක නම් පැය දෙකක්, දෙක හමාරක වගේ ධාවන කාලයක් තියෙනවා. හැබැයි මේ චිත්‍රපටය පැයයි විනාඩි විස්සකට ආසන්න ධාවන කාලයක් තමයි තියෙන්නේ.


කතාව ගැන කිව්වොත් සුර්භි සහ දේව් කියන්නේ සහෝදරයා සහ සහෝදරිය. හැබැයි එහෙම කිව්වට සුර්භි අනාථ නිවාසෙකින් හදාගන්න තමයි අරන් තියෙන්නේ. දේව්ගේ අම්මා දේව් පොඩි කාලෙදි එයාවයි තාත්තාවයි දාලා යන්න යනවා. එහෙම ගිහිල්ලා වෙන විවාහයක් කරගන්නවා. එතනින් එයාට බිලියන ගානක දේපළක උරුමයක් ලැබෙනවා. ඒ විවාහයෙන් ලැබෙන දරුවා අතුරුදහන් වුනාට පස්සේ තව දරුවෙක් හදාගන්න ගන්නවා. එයා තමයි සුර්භි. හැබැයි එයාට කතා කරන්නත් බෑ. ඇහෙන්නෙත් නෑ. අම්මා මැරෙනකොට ඒ බිලියන ගානක දේපළ සේරම සුර්භිට ලියලා තමයි මැරෙන්නේ. ඉතින් දේව්ගේ තාත්තා මේ ගැන කියලා දේව්ගේ හිතේ වෛරයක් ඇති කරවනවා. ඒ වෛරයත් එක්ක ඇවිල්ලා සුර්භිව මරලා දේපළ අයිති කරගන්න තමයි දේව් එන්නේ. ඉතින් ඔය කතාව වැඩිපුරම ගලාගෙන යන්නේ සුවිසල් මන්දිරයක් වටා. ඉතින් මේ මන්දිරයේදි සුර්භිව මරලා දාලා දේව්ට දේපළ අයිති කරගන්න පුලුවන් වෙයිද? ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.


රාත්‍රිය කොතරම් අඳුරු වුනත්...
එළි වීම නවත්තන්න බෑ.
අපි ශක්තිමත්ව හිටියොත් ඇති.
බලාපොරොත්තු නැති කරගන්නේ නැතුව
ජීවත් වෙන්න වෙනවා.
අමාරු කාලයට යන්න දෙන්න වෙනවා.
හොඳ හෙට දවසක් බලාපොරොත්තු වෙන අයව
අතීතයෙන් පරජය කළ නොහැකියි.


තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!


Thursday, August 15, 2019

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


අපි හැමෝටම විවිධ විශ්වාස තියෙනවා.
සමහරු දෙවියන්ව,
සමහරු යක්කුන්ව,
සමහරු භුතයන්ව,
ආදී වශයෙන් නොපෙනෙන බලවේග විශ්වාස කරනවා.
මිනිහෙක්ට භෞතිකව හානි කරනවට වඩා
ඒ මනුස්සයා විශ්වාස කරනදේට හානි කරලා
ඒ මනුස්සයාට රිද්දන්න පුලුවන්,
ඒ මනුස්සයාට හානි කරන්න පුලුවන්.
ඒ නිසා කවුරු කුමක් ඇදැහුවත් 
ඒ දේට හානි කරන්න, විහිළුවකට ගන්න හොඳ නැහැ.

ඔන්න මේ අවුරුද්දේ හිට් වුන තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 ජූනි 21 නිකුත් වුනු මේ චිත්‍රපටය අයත් වන්නේ Action, Comedy, Crime, Thriller  කියන කාණ්ඩ වලට. Swaroop RSJගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට Naveen Polishetty සමඟින් Shruti Sharma රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක් වැනි ඉතා ඉහළ අගයක් ලැබී ඇති මේ චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වෙද්දී ඉතා හොඳ විචාරක ප්‍රතිචාරත් හිමි කර ගන්න සමත්කම් දක්වා තිබෙනවා.

රහස් පරික්ෂකයෙක් වටා ගෙතී යන මේ කතාව මුලදි විහිළුවට බරව තමයි ගමන් කරන්නේ. අත්රෙයා නැමැති රහස් පරික්ෂකවරයා ස්නේහා නැමැති සහයිකාවත් සමග මිනී මැරුම්, හොරකම් ආදි දේවල් විසඳමින් කාලය ගත කරනවා. හැබැයි අත්රෙයා ලොකු වැඩක් හොයමින් ඉන්න අතරේ නාඳුනන මළ සිරුරු වගයක් ගැන ආරංචි වෙනවා. කෝච්චි පාරවල් අවට හමුවෙන මේ මළ සිරුරු ගැන සෝදිසියෙන් ඉන්න කාලෙදි නොසිතූ විිදිහට අත්රෙයාට පොලිස් කූඩුවට යන්න සිද්ද වෙනවා. එහෙදි මහළු මිනිසෙක් කියන දෙයක් නිසා මේ ගැන හොයන්න පටන් ගන්නවා. වැඩේ කරගෙන යද්දි සියල්ල කණපිට හැරෙනවා. මේ රහස් පරික්ෂකවරයා නාඳුනන මළ සිරුරු වල අභිරහස කෙසේ විසඳාවිද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. 

තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!


Tuesday, August 6, 2019

118 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


වෛද්‍ය පරික්ෂණ කිව්වම මොන වගේ අදහසක්ද හිතට එන්නේ? 
මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් කියලා නේද?
ඔව්. හැබැයි ඒ දේ ම තමන්ගේ මඩිය තර කරගැනීම වෙනුවෙන් කරන පිරිසකුත් ඉන්නවා.
ඒ වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න වුනත් ඒ අය දෙපාරක් හිතන්නේ නෑ.
මහා පරිමාණ සමාගම් මේ පරික්ෂණ වලට තුන්වෙනි ලෝකේ රටවල් පාවිච්චියට ගන්නවා.
අරමුදල් නමින් එන්.ජී.ඕ. නමින් ඒ රටවල් වලට ඇවිත් නීති විරෝධීව පරික්ෂණ පවත්වනවා.
ඒ පරික්ෂණ නිසාවෙන් මිනිසුන් මිය යනවා.
සාමාන්‍ය මරණයක් වගේ පෙනුනත් ඒවා මිණී මැරුම් නේද?
 ඒ මරණයන්ට වගකිව යුත්තේ කවුරුන්ද?

තවත් තෙලුගුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 මාර්තු 01 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ ගොඩක් අය කැමති Action/Thriller කියන කාණ්ඩයට. K. V. Guhanගේ පළමු තෙලුගු සිනමා අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගණයෙන් දායක වෙන්නේ  Kalyan Ram, Shalini Pandey සමගින් Nivetha Thomas. පුවත්පත් කළාවේදියෙක් වටා ගෙතී යන මේ කතාවට IMDb දර්ශකයෙන් 6.9 ක අගයක් ලැබෙද්දී ප්‍රේක්ෂකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර ලබා ගනිමින් ආදායම් අතිනුත් සාර්ථක වන්නට හැකියාව ලබා ගත්තා. 

කතාව පටන්ගන්නේ හීනෙකින්. ගෞතම් කියන පුවත්පත් කළාවේදියා නවාතැන්පලක 118 කියන කාමරේ නැවතිලා ඉන්නවා. ඒ නැවතිලා ඉන්නකොට එයාට එයාට හීනෙන් පේනවා කාන්තාවක් ලේ තවරාගෙන ඇදගෙන වැටෙනවා. ඒ වගේම තවත් විවිධ දේවල් පේනවා. ඉතින් තවත් දවසක් ඒ කාමරේම නැවතෙන ගෞතම්ට ඒ හීනෙම පේන්න ගන්නවා. මේකේ මොකක් හරි තියනවා කියලා හිතන ගෞතම් දවසක් වාහනේ යද්දි හීනෙන් පෙනුනු විදිහේම තැනක් දකිනවා. ඉතින් ඒ පෙනුනු දේවල් එක්ක සසඳලා බලද්දි ඇත්ත ලෝකෙදිත් ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. මේ ගැන හොයන්න පටන් ගන්න ගෞතම්ට අභිරහස් රැසක් හෙළි වෙනවා. ඉතින් ඒ අභිරහස් වටා ගෙතුනු මේ බයිස්කෝප් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. කිසිම කම්මැළිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලත් කියන්න පුලුවන්.

කිසිම ආකාරයක ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා කාළ රාමුත් හදාගෙන අසා ලිවීමක් විදිහට තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඉතින් ඒ වෙනුවෙන් අඩුපාඩු අවම කරගන්න උදව් කරපු චානක ඉඳුනිල් මලයටත් බොහොම තුති කියමින් අදට සමු ගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


Wednesday, July 17, 2019

Athiran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! ඔන්න තවත් ආසාවෙන් බලාගෙන හිටපු මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරන් ආවා.  Mystery, Thriller කියන කාණ්ඩයට අයිති වන මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 අප්‍රේල් 12 වෙනිදා. චරිතාංග රංගණයට උපන් හපන්  Fahadh Faasil සමඟින් සුරූපී නිළි Sai Pallavi රංගණයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vivek විසින්. ඉන්දියානු රුපියල් කෝටි 5ක වියදමකින් නිෂ්පාදනය කෙරුණු මේ චිත්‍රපටය කෝටි 13ක ආදායමක් ලබන්නත් සමත්කම් දක්වනවා. IMDb දර්ශකයේ මේ වන විට 7.1ක අගයක් ලැබී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනයට "The System of Doctor Tarr and Professor Fether", සහ Shutter Island කියන නව කතා යම්තාක් දුරට පාදක කරගෙන තිබෙන බවත් සඳහන්. 

කතාව ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ මොකද මේක අයිති වෙන්නේ Mystery කාණ්ඩයටනේ. ඉතින් කතාව කලින් දැනගත්තොත් වැඩක් නෑ. මෙහෙම කෙටියෙන් කියන්නම්. 

නිත්‍යා කියන්නේ මානසික ආබාධයක් තිබෙන දරුවෙක්. හැබැයි ඉතාමත් වංශවත් පවුලකින් පැවත එන විශාල දේපළකට උරුමකම් කියන කෙනෙක්. දවසක් නිත්‍යාව බලාගත්ත එයාගේ නැන්දා, ලක්ෂ්මි ගෙදරින් පිට වෙලා ආපහු එනකොට ගෙදර හිටිය හතර දෙනෙක්ව මරලා දාලා. මළ සිරුරු ලඟට වෙලා නිත්‍යා බලාගෙන ඉන්නවා. මේ තත්වය මත නිත්‍යාව බලාගන්න බැරි නිසා මානසික වෛද්‍ය වරයෙක්ට බාර දීලා ඇයව බලාගන්න කියලා දේපලත් ඔහුට ලබා දෙනවා. අවුරුදු පහකට පස්සේ මේ මානසික රෝහල ගැන පරික්ෂා කරන්න ඩොක්ටර් නායර් කියලා කෙනෙක් එනවා. එතනදී ඔහුට යම් යම් සැක සහිත දේවල් දැක ගන්න ලැබෙනවා. ඒවත් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. එහෙනම් වට පිටාව ඇවිස්සුවා ඇති. හරි හැටි දැනගන්න ෆිලුම බලලම ඉන්නකෝ.

ප.ලි. Kumbalangi Nights සබ් එක දීලා සතියක් යනකොට ෆාසිල්ගේ මේ ෆිලුමටත් සබ් එක කරන්න අවස්තාව ලැබුණා. ඇත්තටම කියන්න ඕන Kumbalangi Nights වෙනුවෙන් නම් සයිට් එකේ දාන කමෙන්ට්ස් වලට වඩා මුහුණු පොතෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැමෝටම බොහොම ස්තූතියි කියන්න ඕන. ඒ වගේම මලයාලම් රසිකයෙක් නම් අනිවාර්යයෙන් ඒ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මෑත කාලයේ ඒ චිත්‍රපටය තරම් පැසසුම් ලබපු චිත්‍රපටයක් නැති තරම්. ඒ වගේම මේ චිත්‍රපටයත් බාරගෙන තිබ්බේ තරිඳු රසාංග මලයා. හැබැයි ඉතින් එයාට ඉගෙනීම් කටයුතු නිසා කරන්න වෙන්නේ නෑ කියපු නිසා දෙවෙනියට චිත්‍රපටය ඉල්ලලා තිබ්බ මට කරන්න අවස්තාව ලැබුණා. ඉතින් ඒ අවසරය ලබා දුන් සිසිල ප්‍රසාද් සහෝදරයටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


Attachments

Monday, July 8, 2019

Kumbalangi Nights (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! ඔන්න තවත් බලාගෙන හිටිය මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් ආවා. 2019 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුන මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ  C. Narayanan විසින්. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් දායක වී තිබෙන්නේ  Fahadh Faasil, Nazriya Nazim, Dileesh Pothan, සහ Syam Pushkaran විසින්. 

ඉන්දියානු රුපියල් කෝටි 6.5ක වියදමකින් නිෂ්පාදනය වුනු මේ චිත්‍රපටය අතිශය ජනප්‍රසාදය දිනා ගැනීම හේතුවෙන් රුපියල් කෝටි 39ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබන්නට සමත්කම් දැක්වුවා. ඒ වගේම IMDb දර්ශකයේ 8.9ක් වැනි ඉතා ඉහළ අගයක් මේ වන විට හිමි වී තිබෙනවා. Shane Nigam, Fahadh Faasil, Soubin Shahir, Sreenath Bhasi, Anna Ben, සහ Mathew Thomas යන අය ප්‍රධාන චරිත වලට රංගණ දායකත්වය දක්වා තිබෙනවා.

මේ චිත්‍රපටය කුම්බලංගි කියන දූපත් වලින් සමන්විත ධීවර ගම්මාණයේ පැල්පතක ජීවත් වන සහෝදරයෝ හතර දෙනෙක් වටා ගෙතෙන සොඳුරු සිනමා සිත්තමක්. සාජි,බොනී,බොබී සහ ෆ්රෑන්කි කියන මේ සහෝදරයෝ හතර දෙනා වෙනස් අදහස් තියෙන, වෙනස් වයස් මට්ටම්වල ඉන්න හතර දෙනෙක්. ෆ්රෑන්කි තමයි බාලයා. අයියා කියන විදිහට කොහෙදෝ නැති වාසනාවක් පාත් වෙලා තමයි මූට හොඳ ඉස්කෝලෙකට ඇතුලත් වෙන්න ලැබිලා තියෙන්නේ. ඉස්කෝලේ නිවාඩුවට යාලුවෝ ෆ්රෑන්කිලාගේ ගෙදර යමු කියනකොට ලැජ්ජාව නිසාදෝ  බොරුවක් කියලා ගෙදර එනවා. ගෙදර ඉන්නේ සාජි සහ බොබී කියන අයියලා දෙන්නා විතරයි. බොබී වැඩක් පලක් නොකර ඔහේ වැව් ඉවුරට වෙලා ඉන්න චරිතයක්. ඉතින් ඕකත් අල්ලගෙන මේ අයියලා දෙන්නගෙ වැඩේ මරාගන්න එක. ෆ්රෑන්කිට මේ දෙන්නගේ ආරවුල් නිසා මේ දෙන්නව එපා වෙලා ඉන්නේ. ඒත් ෆ්රෑන්කි කැමතිම සහ එයා ගැන හොයලා බලන අයියා තමයි බොනී. එයා ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්නේ.

දවසක් බොබීගේ කට්ට කලු යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් වෙනවා. බොබීට ඒක නම් ටිකක් වදිනවා. මොකද මට නැත්තේ කියලා හිතෙන්න ඇති. 😃 කොහොමින් කොහොම හරි බොබීටත් හුරු බුහුටි කෙලි පැටික්කියකගේ බැල්ම වැටෙනවා. එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වුනත් ඉතින් හිත ගිය තැන මාළිගාව කියනවනේ. ඒත් එක්ක තමයි ප්‍රශ්න මතු වෙන්න ගන්නේ. නිකමෙක් වගේ ඉන්න රස්සාවක්වත් නැති කෙනෙක් කොහොමද ගෑණු ළමයගේ ගෙදරින් කැමැත්ත ගන්නේ? ඒකත් එක්කම නිකමෙක් වගේ හිටිය බොබී ට අරමුණක් ලැබෙනවා. ඒ අරමුණත් එක්ක පසුබිම විපරම් කරපු චිත්‍රපටයට කතාවක් ලැබෙනවා. එහෙනම් ඒ සොඳුරු කතාව රස විඳින්නට ඔබ සැමට ආරාධනා කරමින් අදට සමු ගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


Friday, May 24, 2019

Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න ගොඩක් දෙනෙක් ඉල්ලපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා චානක ඉඳුනිල් මලයාවත් එකතු කරගෙන අසා ලිවීමක් කරලා තමයි උපසිරැසිය අරන් ආවේ. 2017 ඔක්තෝබර් 27 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය  අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kishore Tirumala විසින්. සංගීත අධ්‍යක්ෂණය Devi Sri Prasad ගෙන්. Ram Pothineni රංගණයෙන් දායක වූ  Nenu Sailaja චිත්‍රපටය මතක නම්, ඒ චිත්‍රපටයෙත් ඉහත කී කාර්යයන් දෙක ඉටු කරලා තිබුණෙත් මේ දෙදෙනාමයි. ඒ බව හොඳට මේ චිත්‍රපටයේදීත් දැක ගන්න පුලුවන්. රාම්ගෙනුත් Nenu Sailaja චිත්‍රපටයේ තිබ්බ අර අමුතු මාන්දවික විදිහේ නර්ථනයක් මේකෙදිත් දැකගන්න පුලුවන්. :P ප්‍රධාන චරිත වලට Ram Pothineni(අභී ලෙස), Sree Vishnu(වාසු ලෙස), Anupama Parameswaran(මහා ලෙස) සහ Lavanya Tripathi(මේඝනා ලෙස) දායක වෙලා තිබෙනවා. IMdb දර්ශකයෙත් මේ වන විට 6.5 ක අගයක් ලබා ගන්නට මෙම චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා. 

කතාව ගැනත් පොඩ්ඩක් කිව්වොත්, අභී සහ වාසු කියන්නේ පොඩි කාලේ ඉඳන්ම හොඳ යාලුවෝ දෙන්නෙක්. දෙන්නට දෙන්නා නැතුවම බෑ. මේ විදිහට කාලය ගත වෙලා මේ අය තරුණ වියට ආවට පස්සේ මේ මිතුදම දෙදරා යන්න පටන් ගන්නවා. මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්නේ? ඔව්. කෙල්ලෙක් නිසා තමයි. 😀 සිද්ධිය මේකයි. අභී බයික් එකේ යද්දී කෙල්ලෙක් කාර් එකක ඇවිත් එයාව හප්පනවා. ඒ කෙල්ල තමයි මහා. ඉතින් මේ දෙන්නා එතනදි දැන හඳුනා ගෙන, පස්සේ මුණගැහිලා කතා බහ කරලා පොඩි ඇයිහොඳැයියක් ඇති වෙනවා. හැබැයි අභීගේ හිතේ තියෙන දේ මහාට කියන්න යන්නේ නෑ. ඊට කලින් වාසුට කියලා ඉන්න ඕන කියලා වාසුගේ ගෙදර යනකොට වාසුගේ ගෙදරට මහා ඇවිත් ඉන්නවා. ඉතින් අභීගේ කතාව වාසුට කියන්න කලින් වාසුගේ කතාව අභීට කියනවා. මහාගේ අයියගේ විවාහ උත්සවයට ගිය වෙලාවේ මහාව දැකලා එයාට කැමැත්තක් ඇති වුනා. ඒ ගැන එයාට කියන්න ඉන්නේ කියලා. ඔන්න ඔතනින් පස්සේ කතාව උඩු යටිකුරු වෙනවා. හැබැයි ඒක දැන් ඔයාට හිතුන විදිහට නෙවෙයි වෙන්නේ. වෙනස්ම විදිහට. එහෙනම් ඒ කොහොමද කියලා බලන්න  ඔබට බාරයි.

ප.ලි: ඇත්තම කිව්වොත් කමෙන්ට්ස් වලින් වගේම බුකියේ පොස්ට් වලින් පවා ඉල්ලලා තිබ්බ උපසිරැසියක් තමයි මේක. අප්‍රේල් මැදක් වෙද්දි ෆිලුමේ බාගයක් විතර කරලා තිබුණත් ඉතුරු ටික කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් තවත් කල් යන නිසා ඉතුරු බාගේ චානක මලයට කියලා කරගෙන තමයි මේ උපසිරැසිය අරන් ආවේ. එයත් ටීවි සීරිස් ටිකක් බදාගෙන හිටිය නිසා හිතුව තරම් ඉක්මනට ගේන්න බැරි වුනා. :P වැඩ ගොඩක් අස්සේ මේක සම්පූර්ණ කරලා දුන්නු චානක ඉඳුනිල් මලයටත් ගොඩක් ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා.

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


Monday, May 20, 2019

Chitralahari (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


සාර්ථකත්වය..!
ගොඩක් සාර්ථක වුන මිනිස්සුන්ගේ පිටිපස්සෙන් ආපු දෙයක්.
සාර්ථක මිනිස්සුන්ට තමන්ගේ වැරදි පෙන්වා දීපු දෙයක්.
සමහර මිනිස්සුන්ට ආශිර්වාදයක් වුනු දෙයක්.
ඒත් සමහර මිනිස්සුන්ට ජීවිතේ එපා කරපු දෙයක්.
අසාර්ථකත්වය හෙවනැල්ල වගේ ආවත්
ඒ හැම දේකින්ම ඉගෙනගෙන 
සාර්ථකත්වය ලඟා කරගැනීම තමයි 
ජීවිතේ ජය ගන්න ඕන කියලා හිතන කෙනෙක් කළ යුතු වන්නේ.


2019 අප්‍රේල් 12 නිකුත් වුනු අලුත්ම තෙලුගු චිත්‍රපටයකට උපසිරැසි අරන් තමයි මේ ඇවිත් ඉන්නේ.  Kishore Tirumala විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වනනේ  Sai Dharam Tej සමඟින් සුරූපී නිළි Kalyani Priyadarshan. ඉන්දියානු රුපියල් කෝටි 7ක වියදමකින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය කෝටි 27ක ආදායමක් ලබා ගන්න සමත්කම් දැක්වුවා. IMdb දර්ශකයේ 7.6 ක අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා.

ලිපියේ මුලින්ම දැම්ම ප්‍රකාශයෙන් කතාව ගැන යම් අදහසක් එන්න ඇති කියලා හිතනවා. මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ අසාර්ථකත්වය හෙවනැල්ල වගේ නිතරම තමා වටේ කැරකෙන තරුණයෙක් ගැන. විජේ කියන්නේ පොඩි කාලේ ඉඳන් පොඩි පොඩි ගැජට් හදන්න හැකියාවක් තියෙන කෙනෙක්. ඉතින් ඒ පුරුද්දත් එක්ක විජේ ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙනවා. හැබැයි අත ගහන හැම වැඩේම අසාර්ථකයි. මිනිස්සුන්ට වැඩකට ඇති දෙයක් දෙන්න නිතරම කල්පනා කරත් එයාට සහයෝගය දක්වන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. කරන හැම දෙයක්ම අසාර්ථක වෙද්දි මෙයාට තිබ්බ එකම සැනසීම තමයි එයාගේ පෙම්වතිය. එහෙමත් නැත්නම් ලෙහෙරි. ඒ වගේම හැම දේකටම එයාගේ තාත්තත් එයාගේ පස්සෙන්ම ඉන්නවා.  ඔය අතරේ අනතුරු වලදී ස්වයංක්‍රියව අදාල පාර්ශවයන්ට අණතුරු හැඟවීම් යන උපකරණයක් නිපදවන්න විජේ කටයුතු කරනවා. ඒ අතරේ වැරදි වැටහීමකින් සහ විජේ කියපු බොරුවක් නිසා ලෙහෙරි විජේව දාලා යනවා. මේ සිදුවීම් මාලාවත් එක්ක විජේගේ ජීවිතේ වෙනස් වෙන්න ගන්නවා.වටිනා ආදර්ශ රැසක් ලබා දෙන චිත්‍රපටයක් විදිහටත් නම් කරන්න පුලුවන්. ඉතින් අසාර්ථකත්වය තුලින් නැගිටීමට වෙර දරන මිනිසෙකුගේ කතාවක් දැක බලා ගැනීමට ඔබ සැමට ආරාධනා කරනවා.

ප.ලි: තරිඳු රසාංග මලයා තමයි මේ උපසිරැසිය බාරගෙන තිබ්බේ. ඉතින් කොටසක් කරමුද කියලා අහනකොට ඉතින් බෑ නොකියා ඉන්නේ කොහොමද? කල්‍යාණි අක්කනේ ඉන්නේ. :P ඉතින් මේක කරමු කියලා කියපු තරිඳු මල්ලිටත් බෙහොම ස්තූතියි කියන ගමන් අදට සමු ගන්නවා.



Monday, March 11, 2019

N.T.R. Kathanayakudu (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


NTR කිව්වාම කාවද මතක් වෙන්නේ? NTR jr(Nandamuri Taraka Rama Rao Jr.) නේද? කවුරුත් හඳුන්වන විදිහට කියනවනම් ජූනියර් NTR. ඔහු උපතින්ම කලාව හා දේශපාලනය උරුම කරගෙන ඉපදුනු NTR පරම්පරාවේ වර්ථමාන පුරුකක්. මේ චිත්‍රපටයෙන් ඔබ අප හැමදෙනාටම මේ සිනමා පරම්පරාවේ ආරම්භකයා, එහෙමත් නැත්නම් ජූනියර් එන්.ටී.ආර්ගේ සීයාගේ (Nandamuri Taraka Rama Rao) ජීවිත කතාව දැනගන්න පුලුවන්.

එහෙනම් එන්.ටී.ආර් කියන මේ විශිෂ්ඨ රංගධරයා ගැන පොඩි විස්තරයක් කරන්නම්. 1923 මැයි 28 ගොවි පවුලකට දාව උපත ලබපු මෙතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ මාමා කෙනෙක් ලඟ. අධ්‍යාපන කටයුතු අවසන් වුනාට පස්සේ රජයේ කාර්යාලයක උප රෙජිස්ට්‍රාර්වරයකු වශයෙන් පත් වෙනවා. පගා ගැසීම් ආදී වංචා දූෂණ නිසා කළකිරෙන මොහු සති තුනෙන් එතනින් ඉල්ලා අස් වෙනවා. පසුව ඔහු දන්නා හඳුනන චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන L. V. Prasad කළ පැරණි ආරාධනයක් මතක් වෙලා නළුවෙක් වීමේ සිහිනය ඇතුව මැඩ්‍රාස් බලා පිටත් වෙනවා. ඒ සියල්ල සහ තවත් විස්තර චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් නිසා මෙතුමා ගැන තවත් වැදගත් විස්තර ටිකක් ගෙන එන්නම්.

CNN-IBN වෙතින් පැවැත්වූ ජාතික ඡන්ද විමසීමෙන් තේරුණු මෙතුමාගේ නම, 2013 වසරේ පැවැත්වූ ඉන්දියානු සිනමා ශත සංවත්සර උළෙලේදී එදා මෙදා තුර ඉන්දියාවෙන් බිහි වුන විශිෂ්ඨතම රංගණ ශිල්පියා ලෙසින් නම් කෙරුණා. ඒ වගේම එදින නම් කළ ශත වර්ශයේ විශිෂ්ඨම සිනමා නිර්මාණ 100 අතරට මෙතුමා රංගණයෙන් දායකු වූ Patala Bhairavi (1951), Malliswari (1951), Mayabazar (1957), Nartanasala (1963) යන චිත්‍රපට හතරත් ඇතුලත් වුනා. ඉන්පසු ඉන්දියානු රජයෙන් පිරිනමන ඉහළම ගෞරව සම්මාණ වලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාණයෙන් 1968 වසරේදි පිදුම් ලැබුවා.  චිත්‍රපට 300 කට රංගණයෙන් දායක වී ඇති මෙතුමාට ගෞරවයක් වශයෙන් ඉන්දියානු රජයෙන් මුද්දර පවා නිකුත් කෙරුණා. පහතින් දැක්වෙන්නේ එසේ නිකුත් වූ මුද්දරයක්.

image.png

පසුකාලීනව මෙතුමා දේශපාලනයටත් පිවිසෙනවා. ඒවා ගැනත් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ඉතින් මෙතුමාගේ ජීවිත කතාව රැගත් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙත් මෙතුමාගේ හයවෙනි පුතා වන Nandamuri Balakrishna විසින්. පියාගේ චරිතයට පණ පොවන්නෙත් ඔහු විසින්මයි. NTRගේ බිරිඳගේ චරිතයට රංගණයෙන් දායක වෙන්නේ සුරූපී බොලිවුඩ් නිළි Vidya Balan. IMDb 5.9 ක් හිමි වෙලා තියෙන මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබුණේ. හැබැයි කවදාවත් මුල අමතක කරන්න හොඳ නෑ කියනවනේ. ඒ නිසා තෙලුගු සිනමාව දැන් තියන තත්වයට අරන් එන්න අති විශාල දායකත්වයක් දැක්වූ මේ විශිෂ්ඨ රංගධරයාගේ ජීවිත කතාව දැනගැනීමට කැමති අයට නරඹන්න කියලා ආරාධනා කරනවා.

ප.ලි. ලයින් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් තිබ්බ උපසිරැසියක් නිසා ආයෙත් චානක මලයත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඇත්තටම වැඩත් එක්ක කරගන්න කල් ගියා. මගේ කොටස තමයි ටිකක් පරක්කු වුනේ. වැඩි කොටසක් කරේ චානක මල්ලි. කරමු කියපු ගමන් බැහැ නොකියා වැඩේ ගොඩ දැම්මට එයාටත් ස්තූතියි කියන ගමන් සමු ගන්නවා. ආයෙත් කවදා උපසිරැසියක් ගේන්න පුලුවන් වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා හැමෝටම ස්තූතියි කියන ගමන් සමු ගන්නවා. ජය!


Sunday, February 24, 2019

Taxiwaala (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි


තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ  Comedy, Horror, Thriller කියන කාණ්ඩ වලට. 2018 නොවැම්බර් 17 නිකුත් වුන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන, ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නෙත් නැති, තමන්ටම කියා වෙනම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සිටින කඩවසම් නළු විජේ දේවරකොන්ඩා. තම ප්‍රථම සිනමා නිර්මාණයට දායක වෙමින් Priyanka Jawalkar ප්‍රධාන චරිතයකට දායක වන අතරේ Malavika Nair ද තවත් ප්‍රධාන චරිතයකට දායක වී තිබෙනවා. Madhunandan, Ravi Varma, සහ Shiju යන අය සහය රංගණයෙන් දායක වෙනවා. Rahul Sankrityan නම් නවක අධ්‍යක්ෂක වරයාගේ අධ්‍යක්ෂණය යටතේ නිමැවුනු මේ චිත්‍රපටයට සංගීතය මුසු කරන්නේ Queen, Swathanthryam Ardharathriyil, Ranam වැනි සොඳුරු සිනමා පට වලට සංගීතය සැපයූ Jakes Bejoy විසින්.

චිත්‍රපටයේ වටපිටාව ගැනත් ටිකක් සඳහන් කළොත්, හින්දු මහා වීර කාව්‍යයක් වන මහාභාරතයේ එක් කොටසක් වන භගවද් ගීතාවේ දෙවෙනි පරිච්ඡේදයේ 23 වන ශ්ලෝකය පදනම් කරගෙන නිමවූවක් කියලයි සඳහන් වෙන්නේ. චිත්‍රපටයේ නම දැක්කම පේනවානේ ටැක්සියක් සම්බන්ධයි කියලා. ඉතින් මේකට යොදාගෙන තිබෙන්නේ 2002 වර්ෂයේදි නිෂ්පාදනය නවතා දමන ලද, Hindustan Motors වෙතින් නිෂ්පාදනය කළ Contessa කියන වර්ගයේ වාහනයක්. ඒ වගේම මේ චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින්ම මේ ගැන කතා වුනේ නිකුත් වෙන්න මාස කිහිපයකට කලින් සංස්කරණය නොකරන ලද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමගයි. කෙසේ නමුත් ඒ හා සම්බන්ධ පිරිස් අත් අඩංගුවට ගන්නටත් පොලිසිය කටයුතු කළා. ඉතින් මේ විදිහට අලකලංචි ගොඩක් මැද්දේ තිරගත කළ චිත්‍රපටය ආදායම් අතිනුත් සාර්ථක වෙමින් හිට් ලේබල් එක අලව ගන්නත් සමත්කම් දැක්වුවා. ඇත්තටම මේ චිත්‍රපටය මැයි මාසයේ නිකුත් කිරීමට නියමිතව තිබුණත් නොවැම්බර් දක්වා කල් දමන්නට ඔවුන් කටයුතු කළා. සාමාන්‍යයෙන් කල් දමන චිත්‍රපටයක් සාර්ථක වීමේ ප්‍රවණතාවය බොහොම අඩුයි. ඉතින් ඒ සීමිත චිත්‍රපට අතරට එක් වන්නට ලැබීමත් මේ චිත්‍රපටයේ තවත් විශේෂත්වයක්. ප්‍රේක්ශකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර හිමි වුනු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ මේ වන විට 7.5 ක අගයක් ලබා ගන්නටත් සමත්කම් දක්වා තිබෙනවා. ඒ වගේම කෝටි 7 ක වියදමකින් නිෂ්පාදනය කළ චිත්‍රපටය කෝටි 60 ක ආදායමක් ලබා ගන්නට සමත්කම් දක්වා තිබෙනවා.

දැන් කතාව ගැන බලමු. ශිවා කියන තරුණයා උපාධිය සම්පූර්ණ කර ගත්තත් රස්සාවක් හරි යන්නේ නැති නිසා රස්සාවක් හොයාගෙන හයිද්‍රාබාද් වලට එනවා. ඒකේක රස්සාවල් කරන්න ගිහිල්ලා හරි හරි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. අන්තිමේදි මෙයාට දැනගන්න ලැබෙනවා ටැක්සියක් දුවලා හොඳ ගානක් හොයන්න පුලුවන් කියලා. හයිද්‍රාබාද් වල ඉන්න තමන්ගේ අයියාගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන හැම තැනම කාර් හොයන්න පටන්ගන්නවා. ඒත් එයාගේ අතේ තියෙන ගානට හරි යන ටැක්සියක් හොයාගන්න ලැබෙන්නේ නෑ. අන්තිමේදි මෙයාට කෝල් එකක් එනවා ඔයාගේ අතේ තියෙන ගානට වාහනයක් දෙන්නම් කියලා. ඉතින් වටිනා කියන වාහනයක් මෙයාලගේ අතේ තියන ගානට ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වාහනයත් එක්ක සම්බන්ධ දෙයක් මූලික කරගෙන තමයි මේ කතාව ගලාගෙන යන්නේ. එහෙනම් මේ චිත්‍රපටයත් රස විඳින්නට හැමෝටම ආරාධනා කරනවා.

ප.ලි: චිත්‍රපටය ආපු සැනින් අසා ලිවීමක් කරන්න ගත්තත් මේ වන තුරු පමා වීම ගැන සමා වෙන්න ඕනා. සබ් එකක් කරන්න ගත්තමනේ හැම වැඩක්ම සෙට් වෙන්නේ. :P කොහොමින් කොහොම හරි ඉංග්‍රීසි උපසිරැසියකුත් ආපු නිසා කිසිම අඩුපාඩුවක් නැතුව දෙන්න ඕන වුන නිසා තමයි දවස් කිහිපයක් ගත වුනේ. ඒ වගේම විශේෂ ස්තූතියක් කරන්න ඕන තාරක නුවන් දිල්හාර සහෝදරයාට, බයිස්කෝප් මංසල වෙනුවෙන් පරිවර්ථනය කරපු මේ චිත්‍රපටයේ Maate Vinadhuga කියන අපූරු ගීතයේ සිංහල පරිවර්ථනය ලබා දීමත් විද්‍යාත්මක වචන වලට අරුත් සොයා ගැනීමට උදව් කිරීම සම්බන්ධයෙන්. එහෙනම් තවත් තෙලුගු සලරුවක උපසිරැසි සමගින් හමුවෙමු.

ඔබට ජය!


Tuesday, January 15, 2019

C/o Kancharapalem (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි


තවත් තෙලුගු චිත්‍රපටයක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2018 සැප්තැම්බර් 07 තිරගත කිරීම ආරම්භ කළ මේ චිත්‍රපටය අයිති වෙන්නේ  Drama කාණ්ඩයට. තම පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය ලෙසින් මේ චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් හා තිර පිටපත් රචනයෙන් දායකත්වය දක්වා තිබෙන්නේ Maha Venkatesh විසින්. නිෂ්පාදනයෙන් Praveena Paruchuri දායක වී තිබෙනවා. සංගීතය සපයා තිබෙන්නේ Sweekar Agasthi විසින්. මේ වන විට IMDb දර්ශකයේ 9.3 ක් වැනි ඉහළම අගයක් ලබාගෙන වැඩිම IMDb ශ්‍රේණිගත කිරීමක් ලද තෙලුගු චිත්‍රපට ලැයිස්තුවේ 27 වන ස්ථානයේ රැඳී සිටිනවා. 

සුපුරුදු ඇක්ෂන්, සුපුරුදු කතාවක්, ප්‍රසිද්ධ නළු නිළියෝ බලාපොරොත්තු වෙන අයට නම් මේක හරි යන්නේ නෑ. හොඳ චිත්‍රපට රසවින්දනයක් තියන අයට තමයි මේක හරි යන්නේ. මලයාලම් චිත්‍රපට බලලා හුරු කෙනෙක්ට නම් මේක කියාපු භාණ්ඩයක්. විශේෂම කාරණය කියන්නේ  Maha Venkatesh එහෙමත් නැත්නම් අධ්‍යක්ෂකවරයා ඇත්තටම තමන්ගේ ජීවිතයේදි පොඩි පොඩි රස්සාවල් කර කර ඉන්න කාලේ නැවතිලා හිටිය ගමක් තමයි Kancharapalem කියන්නේ. අධ්‍යක්ෂකවරයෙක් වුනාට පස්සේ මෙයාට හිතිලා තියෙනවා මේ ගමට ගිහින් චිත්‍රපටයක් කරන්න. තවත් විශේෂම කාරණයක් තමයි මේකේ චරිත සඳහා යොදා ගෙන තියෙන්නේ ඒ ගමේ එදිනෙදා වැඩ කටයුතු කරන සාමාන්‍ය මිනිස්සුන්වමයි. ඊට අමතරව සලීමා කියන ප්‍රධාන චරිතයක් සඳහා මේ චිත්‍රපටය නිෂ්පාදනයෙන් දායක වූ Praveena Paruchuri සහභාගීවී තිබෙනවා. ඒ වගේම මෑතක පැවති Zee Telugu CineAwards 2018 සම්මාණ උළෙලේ හොඳම චිත්‍රපටය (විචාරක) සම්මාණය හිමි වුනා. ඉදිරි සම්මාණ උළෙලවල් වලදිත් ඇගයීමට පාත්‍රවෙයි කියලත් හිතන්න පුලුවන්.

කතාව ගැන බැලුවොත් මේකෙදි කියවෙන්නේ විවිධ වයස් සීමාවල් වලදී ඇති වන ආදරය ගැන. වයස් සීමාවන් හතරක් මේකෙදි දැකගන්න ලැබෙනවා. පළවෙනි ආදර කතාව පාසල් කාලේ ප්‍රේමයක් ගැන. ගෑණු ළමයා එනකල් බලා ඉන්න විදිහ, එයාව ලබලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන විදිහ, යාලුවෝ උදව් කරන විදිහ වගේ රසවත් කතාවක් බලාගන්න පුලුවන්. දෙවෙනි කතාව අවුරුදු 22 - 23 වෙන තරුණයෙක්ගේ ආදර කතාවක්, ඔහු මුහුණදෙන ගැටළු, ජීවිතේ පිළිවෙලක් කරගන්න දරන උත්සහය වගේ දේවල් දැක ගන්න පුලුව්න. තුන්වෙනි කතාව අවුරුදු 33 ක තරුණයෙක් ගැන. නිතර මුණගැහෙන තරුණියකට හිතෙන් ආදරය කරන, ඒ ගැන කියන්න අවුරුද්දක් තිස්සේ බලා හිඳින තරුණයෙක්ගේ කතාවක්. අන්තිමට අවුරුදු 49 ක් වන තනිකඩයෙක් ගැන. තනිකඩව හිඳීම නිසා ගමේදි විඳින්න වෙන කරදර ගැන සහ තවත් ආදරයක් බලාගන්න පුලුවන්. ඔය කතා ටික ඔහොම ගලාගෙන ගිහිල්ලා අන්තිම විනාඩි දෙකේ කතාව ගළපන විදිහ නම් බොහොම රසවත්.

එහෙනම් හරවත් නිර්මාණයක් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් විස්තර හොයාගන්න උදව් කරපු තිමාල් ප්‍රනාන්දු සොයුරාටත් ස්තූතියි කියමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!


Thursday, January 3, 2019

Aravindha Sametha Veera Raghava (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි


2018 ඔක්තෝබර් 11 තිරගත කිරීම ආරම්භ කළ මෙ⁣ම චිත්‍රපටය අයිති වන්නේ Drama / Action කියන කාණ්ඩයට. තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Trivikram Srinivas විසින්. සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ S. Thaman විසින්. සංගීතය ගැන කතා කරද්දිී  Peniviti කියන සින්දුව ගැන බොහාම කතා බහ ඇති වුනා. ඒ ගීතයෙන් කියවෙන්නේ ස්වාමියා එනතුරු බලා හිඳින බිරිඳක් ගැන. බොහොම කතා බහ ඇතිවුන ගීතයක් නිසාම ඒකෙත් පරිවර්ථන අන්තර්ජාලයෙන් හොයාගෙන වඩාත් ගුණාත්මක ආකාරයෙන් උපසිරැසිය ඔබ වෙත අරන් එන්න හැකියාව ලැබුණ බවත් සතුටින් මතක් කරනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගණයයෙන් දායකත්වය දක්වන්නේ කවුරුත් Young Tiger යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Jr NTR. ප්‍රධාන නිළියට පණ පොවන්නේ සුරූපී නිළි Pooja Hegde.

තිරගත කිරීම ආරම්භ කරපු දවසෙම  ඉන්දියානු රුපියල් කෝටි 58 ක දළ ආදායමක් ලබාගනිමින් තෙලුගු ඉතිහාසයේ චිත්‍රපටයක් පළමු දවසෙන් ලද වැඩිම දළ ආදායම් අතරින් 4 වන තැනට පත්වෙමින් ජයග්‍රාහී ආරම්භයක් ලබන්නට මේ චිත්‍රපටයට හැකියාව ලැබුණා. US වලින් පළමු දවසේ ලද ආදායම මේ අවුරුද්දේ නිකුත් වූ Rangasthalam සහ Bharat Ane Nenu චිත්‍රපට අභිබවා යන්නටත් සමත්කම් දැක්වුවා. ඒ වගේම එදා මෙදාතුර තෙලුගු චිත්‍රපටයක් ලද වැඩිම 6 වන දළ ආදායම වාර්තා කරමින් කෝටි 158.6 ක දළ ආදායමක් ලබා ගන්නට මෙ⁣ම චිත්‍රපටයට හැකියාව ලැබුණා. ඒ Jr Ntrගේ සිනමා දිවියේ වැඩිම අාදායමක් ලද චිත්‍රපටය බවට පත්⁣වෙමින්. කතාව ගැනත් කෙටියෙන් මතක් කරන්නම්.

අවුරුදු 30 ක් තිස්සේ එකිනෙකා මරාගන්නා ගම් දෙකක්.
එකපැත්තකින් නල්ලගුඩි. අනෙක් පැත්තෙන් කොම්මද්දි.

නල්ලගුඩි වල නායකයා බසි රෙඩ්ඩි. කොම්මද්දි වල නායකයා නාරප්පා රෙඩ්ඩි.

නාරප්පා රෙඩ්ඩිගේ පුතා තමයි වීර රාඝවා රෙඩ්ඩි. 
එහෙමත් නැත්නම් අපේ කතා නායකයා.

පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්න අකැමැති උදවිය මේ ටික කියවන්න එපා. අවුරුදු 12 ක් ලන්ඩන් වල ඉඳලා ආපහු ගමට එන රාඝවා රෙඩ්ඩිව එක්කන් එන්න ගිය ඔහුගේ පියා නාරප්පා රෙඩ්ඩිව, රාඝවා ලඟ ඉද්දිම බසි රෙඩ්ඩිගේ පුතා ඇතුලු මැර කණ්ඩායමක් විසින් ඝාතනය කරනවා. ඇත්තටම ඒ ඝාතනය තවත් එක් මිනී මැරුමක් විතරක් නෙවෙයි. ඝාතන රැල්ලක හැරවුම් ලක්ෂය පටන්ගන්නේ එතනින්. තාත්තගේ මළ සිරුරත් අරන් ගෙදරට යන රාඝවා රෙඩ්ඩි, අවසන් කටයුතු කළායින් පස්සේ ආච්චි අම්මා දෙන උපදෙස් නිසා ගම අතෑරලා හයිද්‍රාබාද් වලට යනවා. ඉතින් එහෙදි තමයි රාඝවාට අරවින්දාව මුණගැහෙන්නේ. ඒ කොහොමද? අරවින්දා මේ ගැටුමට සම්බන්ධ වෙන්නේ කොහොමද? තිස් අවුරුදු වෛරය ඉවර කරන්න රාඝවාට පුලුවන් වෙයිද? ඒ හැම දෙයක්ම චිත්‍රපටය නරඹලා රස විඳින්න කියලා ආරාධනා කරනවා. 


ප.ලි. : මේ චිත්‍රපටයටත් තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ. හැබැයි ඉතින් කැමරා කොපියක තිබ්බ ඉංග්‍රීසි උපසිරැසියක් ආධාරයෙන් සහ බාගෙකටත් වඩා අසා ලිවීමක් වශයෙන් තමයි මේ උපසිරැසිය අරන් ආවේ. මේ උපසිරැසියට අසා ලියන්න අලුත් හවුල්කරුවෙක් එකතු වුනා. චානක ඉඳුනිල්. ඔන්න ඉතින් මේ මලයාටත් හොඳට තෙලුගු අසා ලියන්න පුලුවන් බව මේකෙන් තමයි දැන ගත්තේ. ඉල්ලීම් තියෙනවනම් මෙයාගෙනුත් ඉල්ලන්න ඈ. :P සමහර අය සමාජ ජාලා මාධ්‍ය වල අහලා තිබ්බා අයි මේකේ සබ් එක පරක්කු කියලා. ඇත්තටම අසා ලිවීමක් වුනාට අනිත් චිත්‍රපට තරම් ලේසි වුනේ නම් නෑ. ගොඩක් තැන් වල ගැමි භාෂාව භාවිතයට අරන් තියෙනවා. ඇත්තටම සාමාන්‍ය තෙලුගු වලට වැඩිය ඒවා තේරුම්ගන්න අමාරුයි. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉංග්‍රීසි උපසිරැසියක් ආවම අනිවාර්යයෙන් අප්ඩේට් එකක් දාන්නම්. 

අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි