Saturday, November 18, 2017

Fidaa 2017 Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න අද නම් අරගෙන ආවේ ලස්සනම ලස්සන ආදර කතාවක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර විසින් උඩින්ම ඔසවා තැබූ චිත්‍රපටයක්. වරක් නැරඹූ ප්‍රේක්ෂකයන් නැවත නැවත ගෙන්වා ගැනීමේ හැකියාව ඇති චිත්‍රපට අතරින් මුල් තැනක් හිමි කරගන්නට හැකියාව ලද චිත්‍රපටයක්. (තෙලංගානා ප්‍රාන්තයේ වැඩි පිරිසක් මේ චිත්‍රපටය 10 වතාවකට වඩා නරඹා ඇති බවටයි වාර්තා වෙන්නේ) ඒ වගේම අඩු වියදමින් කළ චිත්‍රපට අතරින් “බාහුබලී” ලෙසත් මෙම චිත්‍රපටය හඳුන්වනවා. IMDb දර්ශකයේ දැනට 7.9 ක අගයක් ලැබී තිබෙනවා. මුල ඉඳන් අවසන් වෙනකල් කිසිම කම්මැළි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටයක්. තෙළිඟු රසිකයෙක් නම් අනිවාර්යයෙන් බැලිය යුතු චිත්‍රපටයක්.
ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Varun Tej (වරුන් ලෙස) සහ Sai Pallavi (භානුමතී ලෙස). මලයාලම් චිත්‍රපටි බලන අය දන්නවා සායි පල්ලවී කියන්නේ කවුද කියලා. අපූරු රංගන හැකියාවක් ඇති මේ සුරූපී නිළියගේ තෙළිගු සිනමා දිවියේ ආගමනය වෙන්නෙත් මෙම චිත්‍රපටයෙන්. අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ Shekhar Kammula. Dil Raju සහ Shirish නිෂ්පාදනයක්. මේ චිත්‍රපටය මෙතරම් ජනප්‍රිය වෙන්න සංගීතයත් බොහෝ සෙයින් බලපා තිබෙනවා. ලස්සන ගීත කිහිපයක්ම ඇතුලත් වෙන නිසා ඒවත් මගෑරගන්න එපා.
කතාව දෙසට හැරුණොත්, වරුන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ. එයාගේ අයියා (රාජු) සහ මල්ලි(බුජ්ජි) එක්ක. භානුමතී නැත්නම් භානු ජීවත් වෙන්නේ ඉන්දියාවේ ලස්සන ගම්මානයක. පොඩි කාලෙදිම අම්මා නැති වුන නිසා තාත්තගේ උණුහුමේ හැදී වැඩුනු මෙයාගේ ලඟින්ම හිටියේ එයාගේ අක්කා රේණුකා. වරුන් එයාගේ අයියට මනමාළියක් හොයන අතරේ දැනගන්න ලැබෙනවා රේණුකා ගැන. අයියා ඉස්සෙල්ලා ගිහිල්ලා පස්සේ වරුන්ටත් කතා කරනවා රේණුකා ගැන අදහසක් ගන්න. ඒ එනකොට මෙයාව එක්කන් එන්න යන්නේ දඟකාර භානුමතී. එක්කන් යන අතරේ වරුන් කියන කතා භානුට එච්චර අල්ලන්නේ නෑ. එතනදී වරුන් ගැන පොඩි තරහක් ඇති කර ගන්නවා. ඊට පස්සේ වරුන්ට හරි හරි ඇබැද්දි වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ දඟකාර කෙල්ලගේ වැඩ නිසා. ඔය විදිහට මේ දෙන්නාගේ කතාව ලස්සනට ගලා‍ගෙන යනවා.
ආදර කතාවක් කිසිම බාධාවක් නැතුව කවදාවත් අවසන් වෙන්නේ නෑ නේද? එහෙනම් මේ ආදරයට ඇතිවන බාධාව මොකක්ද? මේ දෙන්නාට එක් වෙන්න හැකියාව ලැබෙයිද? ඒවා ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ. 
පසු සටහන
මේ චිත්‍රපටයට ඇවිල්ලා තිබ්බ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව එතරම් සාර්ථක එකක් නෙවෙයි. ගොඩක් අඩුපාඩු තිබ්බ එකක්. ඒ වුනාට චිත්‍රපටියට තිබ්බ ආසාව නිසාම ඒ උපසිරැසි ගොනුවෙන් වැඩේ පටන්ගත්තා. සමහර තැන් අසා ලිවීමත් කරන්න වුන නිසා චිත්‍රපටය ගේන්න නම් ටිකක් කල් ගියා. සින්දු ටිකේ නම් ඉංග්‍රීසි පරිවර්ථනයක් අන්තර්ජාලයෙන් හොයාගෙන පරිවර්ථනය කරා. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. හොඳ උපසිරැසියක් ආවම අප්ඩේට් එකක් දාන්නම්.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

Fidaa (2017) Telugu HDRip x264 700MB
ඉහත පිටපත සඳහා උපසිරැසි අදාල වේ

Friday, October 27, 2017

Brahmotsavam 2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි


අපිට කවදාවත් තනිව ජීවත් වෙලා ඉන්න පුලුවන්ද? ටික දවසක් එහෙම පුලුවන් වුනත් ජීවිත කාලයම එහෙම ඉන්න පුලුවන්ද? අමාරුයි නේද? ඒත් විස්සක් තිහක් ඉන්න පවුලක් එක්ක ජීවත් වෙලා ඉන්න පුලුවන් නම් මොන තරම් අපූරුද?කොහොමට තියේවිද?ගෙදර එකම උත්සවයක් වගේ තියේවි. ඒ තමයි බ්‍රහ්මෝත්සවය.
ඔන්න එහෙනම් තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මේ චිත්‍රපටය පුරාවටම ඉස්මතු වෙන්නේ පවුලක් විදිහට ජීවත් වීමේ වැදගත්කම සහ පවුල විසිරී යාමට නොදී තබා ගැනීමට දරන උත්සහය ගැනයි. 2016 මැයි මාසේ නිකුත් වුන මේ චිත්‍රපටය Srikanth Addala ගේ අධ්‍යක්ෂණයක්.Prasad V. Potluri සහ Mahesh Babuගේ නිෂ්පාදනයක්. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේමහේශ් බාබු, කාජල් අගර්වාල් සහ සමන්තා විසින්.
කතාව
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අජේ කියන්නේ විශාල පවුලක සාමාජිකයෙක්. සත්‍යරාජ් නැත්නම් අජේගේ තාත්තා තමයි මේ පවුලේ ප්‍රධානියා. මෙයාව ලඟින්ම ආශ්‍රය කරපු කෙනා තමයි අජේගේ මාමා. කොච්චර ලඟින් ආශ්‍රය කරත්, මෙයාට වැඩි සැළකිල්ලක් නැති ‍නිසා එයා ඉන්නේ ටිකක් කනස්සල්ලෙන්. කොහොම හරි දේපළ අයිති කරගන්න හිතාගෙන එයාගේ දුවව ‍අජේට බන්දලා දෙන්නයි මෙයාගේ අදහස තිබ්බේ. ඒත් හදිස්සියේම සත්‍යරාජ්ගේ යාලුවෙක්ගේ දුවෙක් පිට රට ඉඳන් එනවා මෙහේ නවතින්න. ඒ තමයි කාසි. දැන් ඉතින් තේරෙනවා ඇතිනේ සිද්දිය. ඔතනින් තමයි මේ පවුලේ ලොකු දෙදරා වැටීමක් සිද්ද වෙන්නේ. ඔය මම කිව්වේ කතාවේ මුල් ටික. මැදකදී මේකට තවත් කෙනෙක් එකතු වෙනවා. ඔය විදිහට කඩාවැටීමේ ලකුණු ‍පහළවෙන මේ පවුල රැක ගැනීමට දරන උත්සාහය වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.
පසු සටහන
මම ගෙනාපු Nenu Local චිත්‍රපටයට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. දිගටම තෙළිගු චිත්‍රපට වලට උපසිරැසි අරන් එන්න තමයි කල්පනාව තියෙන්නේ. ඒ වගේම Dil Se එකටත් හොඳ ප්‍රතිචාර තිබ්බ නිසා අසූව අනූව දශකයේ පැරණි හින්දි චිත්‍රපට වලටත් ඉඩ ලැබෙන විදිහට උපසිරැසි අරන් එන්නම්.
මේ චිත්‍රපටය කරන්න කියලා මට බාර දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. මාත් ඉතින් දවසෙන් දෙකෙන් කරලා දාන්නම් කියලා බාරගත්තා. ඉංග්‍රීසි සබ් එක ගත්තට පස්සේ තමයි තේරුණේ ඒක ගොඩක් අඩුපාඩු තියන උපසිරැසියක් කියලා. තෙළිගු ටිකක් දන්න නිසා තේරුණා සමහර තැන් වල කියන එක නෙවෙයි උපසිරැසියේ තියෙන්නේ කියලා. කොහොම හරි ඒවත් හදාගෙන කරපු නිසා මේක ගේන්න නම් ටික කාලයක් ගියා. ඒත් පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. හොඳ උපසිරැසියක් ආවොත් අප්ඩේට් එකක් දාන්නම්.
පටන්ගත්ත වෙලේ ඉඳන් ක්‍රියාදාම තියන චිත්‍රපටයක් නම් නෙවෙයි. ඒ වගේ චිත්‍රපටි හොයන අයට නම් මේක ගැළපෙන්නේ නෑ. එකම එක සටන් ජවනිකාවයි තියෙන්නේ. මේක සම්ප්‍රධායෙන් බැහැර වුනු චිත්‍රපටියක්. ඒ නිසා වෙනස් චිත්‍රපටි බලන්න කැමති අයට තමයි මේක හරියන්නේ. මොකටත් ‍පූර්ව ප්‍රචාරක පටය බලලම ඉන්නකෝ.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

Sunday, September 17, 2017

Dil Se (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි



මේ චිත්‍රපටය ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති. 1998 අගෝස්තු 21 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය මනි රත්නම්ගේ අධ්‍යක්ෂණයක්. සංගීත අධ්‍යක්ෂණය ඒ.ආර්.රෙහ්මාන්. අතිශය ජනප්‍රසාධය දිනාගත් “Chayya Chayya”“Jiya Jale”“Dil Se Re” වැනි ගීත රැසක්ම මෙහි අඩංගු වෙනවා. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ ශාරුක් ඛාන් (අමර් කාන්ත් වර්මා ලෙස) සහ මනීශා කොයිරාල (මේග්නා ලෙස). තම දිවියේ ප්‍රථම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙමින් සහය නිළියගේ චරිතයට දායකත්වය දක්වන්නේ සුරූපී නිළි ප්‍රීති සින්තා (ප්‍රීති ලෙස).
අතිශය ජනප්‍රසාදය දිනාගත් මෙම චිත්‍රපටය සම්මාණ රැසක්ම දිනාගත්තා.
1999 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී,
  • හොඳම සංගීත අධ්‍යක්ෂණය – A.R.Rahman
  • හොඳම ගී පද රචනය – Gulzar for “Chaiyya Chaiyya”
  • හොඳම පසුබිම් ගායනය – Sukhwinder Singh for “Chaiyya Chaiyya”
  • හොඳම නවක නිළිය – Preity Zinta
  • හොඳම නර්තන වින්‍යාසය – Farah Khan for “Chaiyya Chaiyya”
  • හොඳම කැමරා අධ්‍යක්ෂණය – Santosh Sivan
යන සම්මාන දිනා ගත්තා. ඒ වගේම හොඳම නිළිය ලෙස මනීශා කොයිරාලත්, හොඳම සහය නිළිය ලෙසප්‍රීති සින්තාත් නාම යොජනා දිනා ගත්තා.
වටපිටාවෙන්…
මේ චිත්‍රපටය තමයි මනි රත්නම් අධ්‍යක්ෂණයෙන් දායක වුනු පළමු හින්දි චිත්‍රපටය. ආදායම් අතින් ඉන්දියාවේ ටිකක් අසාර්ථක වුනත් එක්සත් රාජධානියේ බොක්ස් ඔෆිස් වාර්තා වල මුල්ම 10 අතරට පැමිණි පළමු ඉන්දියානු චිත්‍රපටය වන්නේද මේ චිත්‍රපටය යි. චිත්‍රපටයේ එන සමහර නිදහස් සැමරුම් දර්ශන අරගෙන තිබෙන්නේ ඇත්තම 50 වන නිදහස් සැමරුම් දර්ශන වලින් වීමත් විශේෂත්වයක්. මේ චිත්‍රපටයේ “Chal Chaiyya Chaiyya” ගීතයේ දැක්වෙන දුම්රිය උඩ කරන නර්ථනය සඳහා ශාරුක් කිසිදු ආධාරකයක් භාවිතා නොකළ බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම දැනටත් IMdb දර්ශකයේ 7.8 ක් වැනි ඉහළ අගයක රැදී සිටින්නට සමත්කමක් දක්වා තිබෙනවා.
දැන් කතාව ගැන බලමු. අමර් කාන්ත් වර්මා කියන්නේ “ඕල් ඉන්දියා රේඩියෝ” එකේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. ඔහුට සිද්ධ වෙනවා දිල්ලි වල ඉඳන් අසාම් වලට ගිහින් නිදහසෙන් පසු ගෙවුනු වසර පනහේ ඉන්දියාවේ සංවර්ධනය පිළිබඳ මහජන අදහස් ලබාගන්න. ඇත්තටම ඒ ප්‍රදේශය ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් බොහොමයක් තිබෙන ප්‍රදේශයක්. ඉතින් මේ යන ගමන ආරම්භයේදී ස්ටේශන් එකේදී මහා වැස්සක් ඇදහැලෙන වෙලාවේ සීතලේ ගුලිවෙලා ඉන්න මේග්නාව මෙයාට මුණගැහෙනවා. කිසිම කතා බහක් නැතිව හිටිය මේග්නාට මෙයා වශී වෙනවා. මේග්නාව කතාවට අල්ලගන්න විවිධ උප්පරවැට්ටි යෙදුවත් එයා නිහඬයි. අන්තිමේදි මෙහෙම කියනවා. ” උණුවෙන් තේ එකක් ” . කොල්ලෙක්ට ඉතින් ඕක මදෑ. අමර් තේ එකක් අරන් එන්න ගිය අතරේ ආපු කෝච්චියේ නැගලා මේග්නා යන්න යනවා. අමර් දුවගෙන ආවත් කරන්න දෙයක් නෑ. මේ නාඳුනන්නිය කෝච්චියත් එක්කම යන්න යනවා. අමර් කියන විදිහට මේක තමයි “ලෝකේ කෙටිම ආදර කතාව”.
මම ඔය විස්තර කරේ චිත්‍රපටයේ මුල් මිනිත්තු කිහිපය විතරයි. තවත් දැනගත්තොත් චිත්‍රපටය රස වින්දනයට බාධාවක් වෙන්න පුලුවන්. ඉතින් අමර් කියන විදිහට මේක ලෝකේ කෙටිම ආදර කතාව වෙයිද? මේග්නා කියන්නේ කවුද? ප්‍රීති මේ කතාවට එකතු වෙන්නේ කොහොමද? අමර් හොයන්න ගිය විදිහට නිදහසෙන් පස්සේ ඉන්දියාවේ සංවර්ධනය කොහොමද? නිදහස් වුනාට ත්‍රස්ථවාදීන්ගෙන් රට නිදහස් වෙලාද? මේවට උත්තර හොයාගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
අවසාන වශයෙන් ස්තූති කිරීමක් කරන්න තියෙනවා. රසික හදවත් දිනාගත් සම්මාණනීය ගීත ඇතුලත් නිසාම මම හිතුවා ගීත ටිකත් ඒ වගේම දක්ෂ, ගීත පරිවර්තනය සඳහා සුදුසුම කෙනාට දීලා පරිවර්ථනය කරගන්න. ඉතින් ඒ ගීත ලස්සනට පරිවර්ථනය කරලා දුන්න ආසිරි ප්‍රියන්ත(පොඩි ශාරුක්) සහෝදරයටත් ගොඩක්ම ස්තූතියි. ගොඩක් වැඩ අස්සේ සෑහෙන කට්ටක් කාලා තමයි මේ සින්දු ටික පරිවර්ථනය කරලා දුන්නේ. එහෙනම් අදට සමුගන්නවා. අමතක කරන්න එපා, හදවතින්ම අදහසක් පළකරොත් බාරගන්නෙත් හදවතින්මයි.

Tuesday, July 11, 2017

Nenu Local (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න තවත් තෙළිඟුවකට උපසිරැසියක් අරගෙන ආවා. වැඩි විස්තර නැතුව ෆිල්ම් එක ගැන කියනවනම්, රොමැන්ටික් සහ කොමඩියන් ගණයට අයත් වන මෙම චිත්‍රපටය Trinadha Rao Nakkina අධ්‍යක්ෂණයෙන් හා Dil Raju නිෂ්පාදනයක්. සංගීතය මුසු කරන්නේ Devi Sri Prasad විසින්. ප්‍රේක්ෂකයන් හට මෙම චිත්‍රපටය විවෘත වූයේ 2017 පෙබරවාරි 03 වන දායින් පසුවයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමයි කීර්ති සහ බාබු. කීර්ති නම් චරිතයට පණ පොවන්නේ මෑත කාලයේ Rajini Murugan, Remo, Bairavaa වැනි චිත්‍රපට වලින් අතිශය ජනාදරයට පත්ව සිටින Keerthy Suresh, ඒ වගේම තම දිවියේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත් කරගනිමින් බාබුගේ චරිතයට පණ පොවන්නේ Nani නොහොත් Naveen Babu.
කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි, බාබු කියන්නේ ඉංජිනියරින් හදාරණ ශිෂ්‍යයෙක්, හැබැයි පාඩම් කරන්නත් කම්මැළියි වගේම ගුරුවරුන්ටත් අඩම්තේට්ටම් කරමින් ඉන්න මෙයාට තියෙන එකම අවුල තමයි විභාග පාස් වෙන්නේ නැති එක. විභාග පරික්ෂකට මෙයාව දකිනකොටත් එපා වෙනවා. කොහොම හරි පරික්ෂකවත් ගොනාට අන්දලා විභාගෙ පාස් වෙනවා. ඔය අතරේ වෙන කෙනෙක් කියලා හිතාගෙන කෙල්ලෙක් ඇවිත් මෙයාට කනේ පාරක් ගහනවා. ඔතනදී තමයි බාබු සහ කීර්ති මුණගැහෙන්නේ. කීර්තිගේ බැල්මට වහ වැටෙන බාබු කොහොම හරි මෙයාව දැලේ දාගන්නවා. පස්සේ තමයි දැනගන්නේ බාබුව දැක්කත් එපා වෙන පරික්ෂක වරයා මෙයාගේ තාත්තා කියලා. මෙයාගේ කැමැත්ත ගන්න එක ලේසි වෙන වැඩක් නෙවෙයි. හැබැයි බාබු නිතරම කියන දෙයක් තමයි එයාගේ කැමැත්ත ගන්න එක මොහාතක් හොඳටම ඇති කියන එක. ඔය අතරේ කීර්තිව මැර කණ්ඩායමක් ඇවිත් උස්සගෙන යනවා. කීර්තිව බේරගන්න බාබු යන්න කලින් කෙනෙක් ගිහින් කීර්තිව බේරගන්නවා. මේ බේරගන්න කෙනා තමයි කීර්ති සහ බාබුගේ ආදර කතාවට ලොකුම බාධකය වෙන්නේ.
ඉතින් මේ කෙනා කවුද? කීර්ති සහ මේ කෙනා අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ වගේම බාබු නිතරම කියන ඒ එක මොහොත මොන වගේ එකක් වෙයිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න වෙන්නේ නම් ෆිල්ම් එක බලලම තමයි.
කැමරා කොපියක තිබ්බ ඉංග්‍රීසි සබ් එක බලාගෙන, කාළ රාමුත් හදාගෙන තමයි උපසිරැසිය කරේ. සමහර තැන් වල ඉංග්‍රීසි උපසිරැසි පෙනුනේ නැති නිසා ඒ තැන් අසා ලිවීමත් කරන්න වුන නිසා සති 3ක් විතර ගියා මේ සබ් එක කරන්න. එහෙනම් සබ් එක බාන ගමන් ලයික් කරලා අදහසකුත් පළකරගෙන යන්න.

Wednesday, May 24, 2017

Malli Malli Idi Rani Roju (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආදර කතා ගණයට අයත් වන මෙම චිත්‍රපටය 2015 පෙබරවාරි 06 වන දා සිට ජනතාවට විවෘත වුනා. මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙන්නේ Sharwanand (Raja Ram) සහ Nitya Menon (Nazeera). ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේදී (දකුණු ඉන්දියානු)  නිත්‍යා මෙනන් හොඳම නිළිය සඳහා නාම යෝජනා දිනාගත්තා. ප්‍රධාන චරිතයක් ලෙස දැක්වූ  කුසලතාවය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් හිමි කර ගන්නට ඇයට හැකියාව ලැබුණා.
කතාව ගැන කියනවනම්, රාජා රාම් කියන්නේ ධාවකයෙක්. පියා ජීවතුන් අතර නැති වුනත් අම්මාගේ උපකාර අරගෙන ක්‍රීඩා කටයුතු කරගෙන යනවා. ආර්ථික දුෂ්කරතා නිසා සපත්තු නොමැතිවයි මෙයා ධාවනයේ යෙදෙන්නේ.  දවසක් ධාවන පථයේදි තරඟයක් අතරතුර පොඩි ගල් කැබැල්ලකට මෙයාගේ යටිපතුල තුවාල වෙනවා. මොනා වුනත් මෙයා තරඟය ජයග්‍රහණය කරනවා. හැබැයි මෙයා දිහා විශේෂයෙන් බලාගෙන හිටිය කෙනෙක් හිටියා. ඒ තමයි නසීරා. තරඟය අවසාන වුනාට පස්සේ නසීරා ඇවිත් රාජා රාම්ට තුවාලෙන් පිටවන ලේ පිහදාගන්න ලේන්සුවක් දෙනවා. එතනදී නසීරාව දකින රාජා රාම්, නසීරාගේ ඇස් දෙකට වශී වෙනවා. එතන ඉඳන් තමයි මෙයාලගේ ආදර කතාව පටන්ගන්නේ. හැබැයි අනපේක්ෂිත සිදුවීමක් නිසා මෙයාලගේ ආදර කතාවට ලොකු බලපෑමක් ඇති වෙනවා. ඉතින් ඒ අනපේක්ෂිත සිදුවීම මොකක්ද? තව මොන යම් දේවල් මෙයාලගේ ආදර කතාවට බලපායිද? ඒවා ඉතින් චිත්‍රපටය බලලම තමයි හොයාගන්න වෙන්නේ.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සමුගන්නම්.  කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඔබට ජය!!!

Wednesday, May 3, 2017

Maine Pyar Kiya (1989) Sinhala Subtitle | සිංහල උපසිරැසි


හැමෝටම ආයුබෝවේවා! මේ සැරේ මම අරගෙන ආවේ අතිශය ජනප්‍රසාදය දිනාගත් සම්මානනීය චිත්‍රපටයක්. මේකත් කමෙන්ට් එකකින් තමයි ඉල්ලලා තිබ්බේ. එක දැකලා මම චිත්‍රපටය ගැන සොයා බලනකොට තමයි මට හිතුනේ මෙකට නම් සබ් එක දෙන්නම ඕන කියලා.
1989 තිරගත වුනු මෙම චිත්‍රපටය 35 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන 13 කට නාම යෝජනා දිනා ගත්තා. ඒ අතරින් සම්මාන 7 ක් ම සතු කරගන්නට මෙම චිත්‍රපටයට හැකියාව ලැබුණා. එනම්,
හොඳම චිත්‍රපටය (Rajshri Productions)
හොඳම සංගීත අධ්‍යක්ෂණය (Raamlaxman)
හොඳම ගීත රචනය (Asad Bhopali for “Dil Deewana”)
හොඳම පසුබිම් ගායනය(පිරිමි) (S. P. Balasubrahmanyam for “Dil Deewana”)
හොඳම ආධුනික රංගනය (පිරිමි) (Salman Khan)
හොඳම ආධුනික රංගනය (කාන්තා) (Bhagyashree)
ඉංග්‍රීසි, තෙළිඟු, දෙමළ, මලයාලම් වගේම ස්පාඤ්ඤ භාෂාවටත් හඬ කවන්නට තරම් මේ චිත්‍රපටය ජනප්‍රිය වුනා. 1989 වර්ෂ‍යේ වැඩිම දළ අදායමක් ලද චිත්‍රපටය වගේම දැනටත් වැඩිම දළ ආදායම් ලැබූ චිත්‍රපට අතර රැඳී තිබෙන චිත්‍රපටයක්. Raamlaxman ගේ සංගීත අධ්‍යක්ෂණයට, Dev Kohli සහ Asad Bhopali ගේ පද වැල් වලට මියුරු සුගායනයෙන් දායක වන්නේ Lata Mangeshkar, S. P. Balasubrahmanyam සහ Sharda Sinha. දශකයේ වැඩිම ආදායම් ලද සංගීත කණ්ඩය ඇතුලත් චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය වාර්තා පොත් අතරට එක් වුනා. (සියලුම ගීත උපසිරැසි ගන්වා ඇත). ‍1995 දී Dilwale Dulhania Le Jayenge චිත්‍රපටය එනතුරු වැඩිම සම්මාන දිනාගත් චිත්‍රපටය ලෙස ද වාර්තා පොත් අතර රැඳුණා. කෙටියෙන්ම කිව්වොත් වාර්තා පිට වාර්තා තබපු චිත්‍රපටයක්. (උපුටා ගැනීම විකිපීඩියා වෙබ් අඩවියෙන්)
චිත්‍රපටය ගැන ගොඩක් කියපු නිසා කතාව ගැන කෙටියෙන් කියන්නම්. ප්‍රේම් සහ සුමන් යන ප්‍රධාන චරිත දෙක වටා ගෙතුනු මේ කතාව පටන්ගන්නේ මේ දෙන්නගේ තාත්තලාගෙන්. මේ තාත්තලා දෙන්නා හොඳම යාලුවෝ. එකට ඉගෙන ගත්තත් ප්‍රේම්ගේ තාත්තා හොඳට ඉගෙනගෙන නගරෙට යනවා. අවුරුදු ගානකට පස්සේ සුමන්ගේ තාත්තට පිටරටක මාස කිහිපයක වැඩක් හම්බවෙනවා. සුමන්ව ගෙදර දාලා යන්න බැරි නිසා එයාව නගරෙට ගිය තමන්ගේ අතිජාත මිත්‍රයාගේ ගෙදර නවත්වලා යන්න තාත්තා තීරණය කරනවා. එහෙදී තමයි ප්‍රේම් ව මුණගැහෙන්නේ.ඔය තමයි කතාවේ ආරම්භය. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව කොහොම වේවිද? ප්‍රේම්ගේ තාත්තා නගරෙට ආවට පස්සේ වෙනස් වෙලා ද? තව කවුරුන් මේ දෙන්නගේ හරහට හිටියිද? ඒවා මේ චිත්‍රපටය නරඹලාම තීරණය කරන්න.

Monday, March 20, 2017

A Aa 2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි


මේ චිත්‍රපටය ගැන කියනවනම්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Trivikram Srinivas විසින්. ප්‍රධාන චරිත දෙකට දායකත්වය දක්වලා තියෙන්නේ තෙළිඟු සිනමාමේ කවුරුත් දන්නා හඳුනන නිතින් (ආනන්ද් විහාරි නොහොත් නන්දු ලෙස) සහ සමන්තා (අනසුයා රාමලිංගම් ලෙස). මේ චිත්‍රපටයටIMDb දර්ශකයේ දැනට 7.1 ක් තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම 2016 වසරේ වැඩිම ආදායම් ලබපු තෙළිඟු චිත්‍රපට 10 අතර තියෙන චිත්‍රපටයක්.
කතාව පටන්ගන්නේ මෙහෙමයි, අනසුයා කියන්නේ ලොකු සල්ලිකාර පවුලක කෙනෙක්. සල්ලි තිබ්බට මොකද මෙයාට ඇති සතුටක් නම් නෑ. මෙයා කැමති කිසිම දෙයක් එයාට කරන්න අම්මා ඉඩ දෙන්නේ නෑ. අම්මට ඕන විදිහට තමයි හැමදේම කරන්න වෙන්නේ. ඔය අස්සේ අම්මා බලෙන්ම වගේ මෙයාව කසාද බන්දලා දෙන්න යනවා. ඉතින් මේක දුර දිග ගිහිල්ලා අනසුයා සිය දිවි හානි කරගන්න උත්සහ කරනවා.
අනසුයාගේ තාත්තට මේක ඉවසන් ඉන්න බැරි වෙනවා. අම්මා ටික දවසකට රට ගියාට පස්සේ මෙයාගේ හිත හැදෙන්න කියලා දුර ගමකට යවනවා. එතකොට තමයි ආනන්ද් විහාරිව මුණගැහෙන්නේ. ඇත්තටම මේ දෙන්නා නෑනයි මස්සිනයි තමයි වෙන්නේ. මේ පවුල් දෙක එක හේතුවක් නිසා ටිකක් හිත් අමනාපෙන් ඉන්නේ. ඒත් අනසුයා මෙහෙට ගියාට පස්සේ මේ ගමට එයාගේ හිත ඇදිලා යනවා. ගමට කිව්වට ගමටත් වඩා ආනන්ද් විහාරිට.
ඇත්තටම මේ පවුල් දෙකේ අමනාපකමට හේතුව මොකක්ද? අනසුයා ට ආනන්ද් කැමති වෙයිද? ඒකටත් මේ ආරවුල බලපායිද? තව මොන වගේ බාධා ඇති වෙයිද? ඒවා නම් ඉතින් ෆිල්ම් එක අරගෙනම තමයි බලන්න වෙන්නේ.
මේ ෆිල්ම් එකට උපසිරැසි ගොනුවක් ඇවිල්ලා තිබ්බේ බෙංගාලි භාෂාවෙන් විතරයි. ඉංග්‍රීසි එකක් දාලා තිබ්බට ඒකත් බෙංගාලි උපසිරැසිය ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා තමයි දාලා තිබ්බේ. කොහොම හරි වැඩේ අතාරින්නෙ නැතුව ඒ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව අරගෙන තමයි මේක දුන්නේ. ඒ නිසා සමහර විට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුලුවන්. ඒ උපසිරැසියේ කාළ රාමු හරියට නැති නිසා පළවෙනි වතාවට කාළ රාමුත් හදාගෙන උපසිරැසිය කරන්න වුනා. ඒකට ඉතින් දවස් 3 ක් එකදිගට මහන්සි වුනා. හොඳ උපසිරැසියක් ආවම අප්ඩේට් එකක් දාන්නම්. හිත හදාගන්න අදහසකුත් පළකරගෙන යන්න.
ඔබට ජය!

Thursday, March 16, 2017

Tadakha 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න තවත් තෙළිගු උපසිරැසියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටුකිරීමක් විදිහටයි ඉදිරිපත් කරන්නේ. මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න රොයිලි අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. බාර ගෙන නම් ටික කාලයක් ගියා. මොකද උපසිරැසි ගොනුවක් ආවේ මේ අවුරුද්දේ නිසා. මේ ෆිල්ම් එක Vettai කියන දමිල ෆිල්ම් එක තෙලිගු වලින් ප්‍රති නිර්මාණය කිරීමක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kishore Kumar Pardasani විසින්. මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායකත්වය දක්වන්නේ Tamannaah (පල්ලවී), Naga Chaitanya (කාර්තික්),Andrea Jeremiah(නන්දු), Sunil Varma (ශිවා) සහ Ashutosh Rana (බග්ගා) විසින්. ඒ වගේම විහිළු සපයන්නේ Brahmanandam විසින්.
කතාව ගැන කියනවනම්, කාර්තික් සහ ශිවා කියන්නේ සහෝදරයෝ දෙන්නෙක්. ශිවා තමයි අයියා. හැබැයි මූ හැම දේකටම පණ බයයි. මොනා සිද්ධ වුනත් ගිහිල්ලා කියන්නේ මල්ලිට. මල්ලි නම් කිසි දේකට බය නෑ. ගේමෙන් නම් ගේමෙන් වගේ පොරක්. මෙයාලගේ තාත්තා පොලිස් නිළධාරියෙක්. හදිස්සියේම එයා මිය යනවා. ඉතින් මේ පොලිසියේ නියමයක් තියනවා, යම් කෙනෙක් පොලිස් රාජකාරියේ සිටියදී මැරුණොත් එයාගේ රැකියාව දරුවෙක්ට ලබා ගන්න පුලුවන් විදිහේ. ඒ අනුව මේ රැකියාව ශිවාට තමයි ගන්න වෙන්නේ. මොකද කාර්තික්ට විරුද්ධව පොලිසියේ පැමිණිලි තියෙන නිසා. ශිවා, මල්ලිගේ කීමට අකැමැත්තෙන් හරි කැමති වෙනවා. දැන් තමයි ප්‍රශ්නේ පටන්ගන්නේ. ශිවාට පත්වීම ලැබෙන්නේ බග්ගා නැමති මුලු මුහුදේම තම බලය පතුරුවාගෙන ඉන්න මැරයෙක් ඉන්න පළාතක. ශිවාට පළවෙනි රාජකාරිය විදිහට ලැබෙන්නේ කාශි නැමති බග්ගාගේ ලඟම හිටපු කෙනෙක් උස්සගෙන ගිය ළමයෙක්ව බේරගෙන එන්න. කොහොම හරි කාර්තික්ගේ උදව්වෙන් ඒ වැඩේ නම් කරගන්නවා. හැමදාම මේ සෙල්ලම කරන්න බෑ නේ. ඔය මැරයන්ට මේ සෙල්ලම මාට්ටු වෙනවා.
ඔය අතරේ මේ දෙන්නගේ මාමා කෙනෙක් ශිවාට මනමාළියෙක් බලන්න යන්න ලෑස්ති කරනවා. මූ කොච්චර බයයිද කියන්නේ මනමාළිව බලන්න යන්නත් බයයි. කොහොම හරි මල්ලිව යවනවා මෙයාව බලන්න. මල්ලි කැමති වුනොත් ඒ ගැහැණු ළමයාව කසාද බඳින්නම් කියනවා. එ් ගියාම තමයි කාර්තික්ට පල්ලවීව මුණගැහෙන්නේ. තව හරි හරි වැඩ සිද්ද වෙනවා මේ ගෙදරදී.
ඉතින් මේ අයට බග්ගාව මුණගැහෙන්නේ කොහොමද? කාර්තික්ගෙයි පල්ලවීගෙයි පළහිලව්වට මොකද වෙන්නේ? ශිවා දිගටම බයගුල්ලෙක් විදිහට ඉඳියිද? ඒවට උත්තර ෆිල්ම් එක බලලම හොයා ගන්න.
එහෙනම් අදහසකුත් දාගෙන යන්න. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!
සැ.යු. – මෙම චිත්‍රපටය සඳහා තවම එච් ඩී පිටපතක් නිකුත්වී නොමැති අතර 2016 වසරේදී හින්දි භාෂාවෙන් හඬකැවූ පසු හින්දි හඬකැවූ පිටපත සඳහා එච් ඩී පිටපතක් නිකුත් වී තිබේ. තවද මෙම තෙළිගු චිත්‍රපටය සඳහා ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් තවමත් නිකුත් වී නොමැති අතර ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් නිකුත් වී ඇත්තේ හින්දියෙන් හඬකවන ලද පිටපත සඳහා පමණි. මෙම සිංහල උපසිරැසිය නිකුත් කර ඇත්තේ එම හින්දි ගොනුවට අදාලවය. පසුව එය Thadaka(2013) 1 CD X264 DTH Rip පිටපතට සහ cloudy.ec/v/5adb7e3cade65 යන ලිපිනයෙහි ඇති පිටපතට අදාලව ටයිම් ලයින් සකසා ගැලපෙන පරිදි දෙබස් සකසා තිබේ. නමුත් තෙළිගු පිටපතට අදාලව දෙබස් වල සුලු නොගැලපීම් තිබිය හැක. ඉදිරියේදී තෙළිගු පිටපත සඳහා එච් ඩී කොපියක් ආවොත් ඒ සඳහා උපසිරැසි ගොනුව යාවත්කාලීන කරන්නම්.

Wednesday, March 15, 2017

Ghulam 1998 Sinhala Subtitle | සිංහල උපසිරැසි


මේ ෆිල්ම් එක ගැන කියන්න කලින් මේක අහලා තියෙනවද බලන්නකෝ.
” ඒයි, ක්යා බොල්ති තූ.
ඒයි, ක්යා මේ බෝලෝ.
සුන්, සුනා,
ආති ක්යා කණ්ඩාලා
ක්යා,කරූන්, ආකේ මේ කණ්ඩාලා,
අරේ ගුමේන්ගේ පිරේන්ගේ නචේගේ ගඒන්ගේ
ඒශ් කරෝන්ගේ ඕර් ක්යා…”
ඔන්න ඔය සින්දුව තියන ෆිල්ම් එකට සබ් තියනවද කියලා බලද්දි තමයි මේකට සබ් එකක් නෑ කියලා දැනගත්තේ. මේ ගැන අහනකොට ඉක්මනින්ම ප්‍රතිචාර දක්වපු සමන් ප්‍රසාද් සහෝදරයාට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. (මේ හාදයා තමයි මේ දවස්වල බයිස්කෝප් සයිට් එකේ වැඩ රෑ දවල් නොබලා කරගෙන යන්නේ)  ඉගෙනීම් කටයුතුත් කරන අතරතුර පුලුවන් තරම් ඉක්මනින් උපසිරැසිය කරලා අරගෙන ආවා.
මේ ෆිල්ම් එක ගැන කියනවානම්, IMDb දර්ශකයේ තවමත් 7.4 ක් වැනි ඉහල මට්ටමක රැඳී තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vikram Bhatt විසින්. ඒ වගේම ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ, Aamir Khan(සිද්ධු), Rani Mukerji(අයිෂා) සහ Deepak Tijori . මෙම චිත්‍රපටය වසරේ හොඳම දරශනය(Scene)ට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත්තා. ඒ වගේම හොඳම චිත්‍රපටය, හොඳම නලුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම දුෂ්ධ චරිතය වගේම අමීර් කාන් හටත් හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානය සඳහා නාම යෝජනා ලැබුනා.
කතාව ගැන කියනවනම්, සිද්ධාර්ත් නොහොත් සිද්ධු නැමති තරුණයා මුම්බායි වල බොක්සිං ශූරයෙක්. ඒ වුනත් මගෝඩි වැඩ කර කර තමයි ඉන්නේ. චිත්‍රපටය පටන්ගන්නෙත් හොරකමක් සම්බන්ධ නඩුවකින්. මෙයාගේ අයියා(ජයදේව්) රෝනක් සිං නැමති නමගිය අපරාධකාරයාගේ ගිණුම් කටයුතු භාරව ඔහුගේ දකුණු අත මෙන් ඉන්න කෙනෙක්. ඔය අතරතුර සිද්ධු රෝනක් සිංවත් මුණගැහෙන්න එනවා. එයාගේ පොඩි පොඩි වැඩත් කරලා දෙනවා. මෙයාලා මෙහෙම වුනත් මෙයාලගේ තාත්තා ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. එයාගේ තාත්තා නිතරම කියපු දෙයක් තමයි,
“සැඩපහරත් එක්ක, ඕනෑම කෙනෙකුට පිහිනන්න පුලුවන්..
ඒත් නියම මනුස්සයා මොහුයි…
ඒ සැඩපහර මැඩගෙන, ඉදිරියටම යන කෙනා යි…”
මේ අවවාදයත් ඔහුගේ හිතේ නිතරම රැව් දෙනවා. ඔය අතරේ මෙයාගේ යහලුවෙක්ට රෝනක් සිංගෙන් ලොකු කරදරේකට මුහුණ පාන්න වෙනවා. ඒකත් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නේ. මොහු රෝනක් සිංට විරුද්ධව නැගී සිටියිද? මෙයාට අයිෂාව මුණගැහෙන්නේ කොහොමද? මේ දෙන්නගේ ආදර කතාව කොහොම වෙයිද? ඒවනම් කියන්නේ නෑ. කුතුහලයකුත් තියෙන්නෙපැයි.
ආ… තව දෙයක් කියන්න ඕන. මේකේ තවත් ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා. ඒ අතරිනුත් හිතට වැදිච්ච ගීතයක් තමයි මේක.
“ජාදු හේ, තෙරාහි ජාදූ, ජෝ මෙරේ දිල් පෙ චානේ ලගා,
ජාදු හේ, තෙරාහි ජාදූ, ජෝ මෙරේ දිල් පෙ චානේ ලගා,
දීවානේ මේරා යෙහ් බතා ක්යා කියා තූනේ, මිතා සා ධර්ද හෝනේ ලගා.
යේ ක්යා හුවා, පෙහෙලේ නා ඒසා හෝතා තා, මේහු කහා මේ ජානු නා
යේ ක්යා හුවා, පෙහෙලේ නා ඒසා හෝතා තා, මේහු කහා මේ ජානු නා
කොයි මුජේ ඉත්නා බතා දේ, ඝර්කා මෙරේ මුජ්කෝ පතා දේ…”
බය වෙන්න එපා හැම ගීතයකටම උපසිරැසි ලබා දීලා තියෙන්නේ. මේ ෆිල්ම් එකට නම් හොඳ එච්.ඩී කොපි ඇවිල්ලා තියෙන්නේ. තව ලස්සන සින්දු තියෙන ෆිල්ම් හරි සබ් නැති මොනා හරි ෆිල්ම් තියෙනවනම් කමෙන්ටුවකින් දාගෙන යමු. ෆිල්ම් එක ගැනත් අදහසක් පලකරගෙනම යන්න. ෆිල්ම් එක බලන්න පැය දෙකක් තුනක් තියෙනවනම් අදහසක් දාන්න විනාඩියක් දෙකක් නැති වෙන්න විදිහක් නෑ නේ… එහෙම කිව්වේ අපිට දවස්ගානක මහන්සිය නිවා ගන්න ඕක තමයි තියෙන්නේ. සැරින් සැරේ ඇවිල්ලා බලනවා කීයක් ඩවුන්ලෝඩ් කරලද? කීයක් කමෙන්ට් වැටිලද කියලා… දානවට දාන්නත් එපා. හදවතින්ම අදහසක් පලකරලා යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

Kaavalan 2011 Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! ඔන්න මගේ තුන්වන උපසිරැසියෙන් තවත් ආසාවක් සම්පූර්ණ කර ගත්තා. ඒ තමයි විජෙයි ඉන්න බයිස්කෝප් එකකට සබ් එකක් දෙන එක. මේකට උදව් කරපු හැමෝටම ස්තූතිය පල කරමින් ම පටන්ගන්නම්.
මේ බයිස්කෝප් එකටත් IMDb දර්ශකයේ 7.1 ක් වැනි ඉහළම අගයක් ලැබිලා තියනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එක ගැන. ඉන්දියාවේ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නාම යෝජනා ද ලබා ඇති මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Siddique විසින්, ප්‍රධාන චරිත දෙක සඳහා දායක වෙලා තියෙන්නේ Vijay(භූමිනාදන්) සහ Asin(මීරා). මේ බයිස්කෝප් එකේ විහිළු සපයන්නේ අංක එකේ විහිළුකාරයෙක් වන Vadivelu විසින්. ගීත දර්ශක වල කාලයක් ඉහළම රැඳි ගීත කිහිපයක් පවතින මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vidyasagar විසින්. ඒ් සියලුම ගීත වලටද උපසිරැසි ලබා දීමට හැකියාව ලැබීමත් වාසනාවක්.
කතාව ගැන කියනවා නම්, භූමිනාදන්(Vijay) කියන්නේ, ගමේ රස්තියාදු ගගහා රණ්ඩු වලට පැටලෙමින් කාලය ගතකරන කෙනෙක්. මේකට එයාගේ දෙමවුපියෝ නම් කැමති වුනේ නෑ. ඒ අයගේ මතයක් තියනවා ළමයෙක්ට නම දාපු කෙනා අනුව තමයි, ඒ ළමයත් හැදෙන්නේ කියලා. මෙයාට නම දාලා තියෙන්නේ මැරකම් කර කර හිටිය කෙනෙක්. මෙයාව හදන්න වෙන්නෙත් එයාටමයි කියලා හිතන දෙමවුපියෝ මුත්තු රාමලිංගම් කියන ඒ කෙනා ගාවට බොරුවක් කියලා මෙයාව යවනවා. හැබැයි මෙයාව යවන්නේ එයාගේ බොඩිගාඩ් විදිහට කෙනෙක් හොයනවා කියලා.
මේ බොරුවට අහුවෙලා ඒ ගමට ගිය භූමිනාදන් තවත් බොරුවකට අහුවෙනවා. ඒ හරහා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.  ඒත් එයාට මීරා මුණගැහෙන්නේ කොහොමද? මෙයා දාමරිකකම් නවත්වයිද? ඒවා ඉතින් බයිස්කෝප් එක බලලම තමයි හොයා ගන්න වෙන්නේ.
සැයු. මෙම උපසිරැසිය සමග tamilyogi.cc වෙබ් අඩවියේ පිටපත සඳහා ද ගැළපෙන උපසිරැසි ගොණුවක් ද ඇතුලත් කර තිබේ.
තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය!!!

Monday, March 13, 2017

Pilla Zamindar 2011 Sinhala Subtitle | සිංහල උපසිරැසි


හැමෝටම ආයුබෝවේවා! ඔන්න මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය අරගෙන ඔයාලව මුණගැහෙන්න ආවා. ගියපාර දෙමළ චිත්‍රපටයකට සබ් දුන්න නිසා මං හිතුවා මේ පාර තෙලුඟු චිත්‍රපටයකට සබ් එකක් දෙන්න. ඇත්තටම කියනවනම් ලයින් 2150 ක් විතර තිබ්බ නිසා මේකත් ලේසි වුනේ නෑ. ඇත්තටම මම උපසිරැසි නිර්මාණය කරන්න හිතපු ගොඩක් චිත්‍රපට භාරගෙන තිබ්බේ. දන්නවනේ ඉතින් අපේ බයිස්කෝප් සහෝලගේ වැඩ කිඩ. ඇති යන්තම් මේක ඉතුරු වෙලා තිබ්බා.
දැන් චිත්‍රපටය දෙසට හැරෙමු. තෙලුඟු සිනමාවේ කවුරුත් දන්නා නානි(පී.ජේ) සහ හරිප්‍රියා(සින්ධු) තමයි ප්‍රධාන චරිත දෙකට දායක වෙලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.5 ක් වැනි ඉහලම අගයක්  ලැබී තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  G.Ashok විසින් වන අතර V.Selvaganesh විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා. ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුලත් මේ චිත්‍රපටයේ සියලුම ගීත වලට උපසිරැසි ලබාදීමටත් හැකියාව ලැබුණා.
කතාව දෙසට හැරෙනවනම්, පී.ජේ කියන්නේ කොටි 5000 ක එකම උරුමක්කාරයා. උරුමක්කාරයා කිව්වට තාම ලැබිලා නෑ. එයාගෙ සීයට තමයි ඒක අයිති. සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන මෙයා උදේට නැගිටින්නේ දවසෙන් බාගයක් ගියාට පස්සේ. තැබෑරුම් වල, පාටි වල යාලුවොත් එක්ක කාලය කා දමන මෙයාට ප්‍රශ්නෙ පටන් ගන්නේ සීයා මැරුණට පස්සේ. සීයගේ අන්තිම කැමති පත්‍රයේ ලියලා තියෙන්නේ, එයාට ඒ ධනය ලබා ගන්න ඕන නම් සිරිපුරම් කියන පිටිසර ගම්මානයේ තිබෙන රාජන්නා කියන හමුදා නේවාසිකාගාරයේ නැවතිලා රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගත යුතුයි කියලා. තව කොන්දේසි ටිකක් තියනවා ඒවා දැක්කම තමයි මෙයාට තරු විසි වෙන්නේ. ඒ කොන්දේසි මොනාද? සින්ධුව මුණගැහෙන්නේ කොහොමද? මේවට උත්තර චිත්‍රපටය බලලම හොයාගන්න. කලින් දැනගත්තම ඒක රසවින්දනයට බාධාවක් වෙනවනේ.
ඔයාලගේ අදහස් නම් ගොඩක් වටිනවා. ගියපාර තිබ්බ කමෙන්ට් නිසා තමයි තව සබ් ගහන්න හිතුනේ. එහෙනම් තවත් සබ් එකකින් හමුවෙමු. ඔයාලට සබ් ඕන චිත්‍රපට තියනවනම් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් බයිස්කෝප් අඩවියට පිවිසෙන සියලු දෙනාට ජය වේවා!

Friday, March 10, 2017

Deepavali 2007 Sinhala Subtitle | සිංහල උපසිරැසි



මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සහෝලගේ වැඩ දැකලා ආසාවට තමයි පටන් ගත්තේ. පටන් ගත්තට පස්සේ තමයි තේරුණේ සහෝලා කොච්චර මහන්සි වෙනවද කියලා සබ් එකක් දෙන්න. මේකත් ලේසි වුනේ නෑ. ලයින් 1955 ක් තිබ්බා. ඒත් වැඩේ අතෑරියේ නෑ. කොහොම හරි වැඩේ ඉවර කරා. ලිපිය දාලා ෆිල්ම් එක ගැන අහපු ගමන් ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වූ හසන්ත සහෝ ට මාගේ ස්තූතිය. දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.
මේකේ ප්‍රධාන චරිත දෙක තමයි බිල්ලු සහ සුසී. බිල්ලුගේ චරිතයට දායක වෙන්නේ Jayam Ravi. ඒ වගේම සුසීගේ චරිතයට දායක වෙලා තියෙන්නේ Bhavana. ප්‍රධාන චරිත දෙක දැක්කම ෆිල්ම් එක ගැන හිතා ගන්න පුලුවන්නේ. මේ ෆිල්ම් එකේ ඉතාම ජනප්‍රිය වුනු Kadhal Vaithu, Kannan Varum Velai, Dhol Bhaje වගේ ගීත කිහිපයක්ම තියනවා.
දැන් කතාව ගැන බලමු. රෝයපුරම් කියන ගම්මානයේ ප්‍රධානියා තමයි මොයිලයාර් කියන්නේ. එයාගේ පුතා තමයි බිල්ලු. එයාලා මැඩ්‍රාස් වල සල්ලි තියන හැබැයි සාධාරණව ජීවත්වෙන පවුලක්. ඒ නිසාම ගමේ අය බිල්ලුට ගොඩක් ආදරෙයි. අල්ලපු ගෙදරට එන අමුත්තෙක් එක්කන් එන්න බිල්ලුට යන්න වෙනවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේදි එක කෙල්ලෙක්ව දැක්ක ගමන් බිල්ලුගේ හිත ඇදිලා යනවා. බලද්දි මෙයා තමයි සුසී. ඉතින් ඊට පස්සේ මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නවා. සුසීගේ තාත්තා බැංගලෝර් වල ප්‍රසිද්ධ මැරයෙක්. මේ දෙන්නගේ ආදර අන්දරයට කොහොම මේක බලපායිද? සුසී මැඩ්‍රාස් වලට ආවේ ඇයි? ඒවට උත්තර හොයන්න නම් ෆිල්ම් එක අරන් ම බලන්න වෙනවා. එහෙනම් ඉතුරුටික ෆිල්ම් එක අරගෙනම බලන්න. පළමු උපසිරැසිය නිසා ඔයාලගේ අදහස් ගැන දැනගන්න වගේම වැරදි ඇතොත් පෙන්වා දෙනවානම් කැමතියි…

අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි