Monday, March 20, 2017

A Aa 2016 Sinhala Subtitle | සිංහල උපසිරැසි


මේ චිත්‍රපටය ගැන කියනවනම්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Trivikram Srinivas විසින්. ප්‍රධාන චරිත දෙකට දායකත්වය දක්වලා තියෙන්නේ තෙළිඟු සිනමාමේ කවුරුත් දන්නා හඳුනන නිතින් (ආනන්ද් විහාරි නොහොත් නන්දු ලෙස) සහ සමන්තා (අනසුයා රාමලිංගම් ලෙස). මේ චිත්‍රපටයටIMDb දර්ශකයේ දැනට 7.1 ක් තරම් ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම 2016 වසරේ වැඩිම ආදායම් ලබපු තෙළිඟු චිත්‍රපට 10 අතර තියෙන චිත්‍රපටයක්.
කතාව පටන්ගන්නේ මෙහෙමයි, අනසුයා කියන්නේ ලොකු සල්ලිකාර පවුලක කෙනෙක්. සල්ලි තිබ්බට මොකද මෙයාට ඇති සතුටක් නම් නෑ. මෙයා කැමති කිසිම දෙයක් එයාට කරන්න අම්මා ඉඩ දෙන්නේ නෑ. අම්මට ඕන විදිහට තමයි හැමදේම කරන්න වෙන්නේ. ඔය අස්සේ අම්මා බලෙන්ම වගේ මෙයාව කසාද බන්දලා දෙන්න යනවා. ඉතින් මේක දුර දිග ගිහිල්ලා අනසුයා සිය දිවි හානි කරගන්න උත්සහ කරනවා.
අනසුයාගේ තාත්තට මේක ඉවසන් ඉන්න බැරි වෙනවා. අම්මා ටික දවසකට රට ගියාට පස්සේ මෙයාගේ හිත හැදෙන්න කියලා දුර ගමකට යවනවා. එතකොට තමයි ආනන්ද් විහාරිව මුණගැහෙන්නේ. ඇත්තටම මේ දෙන්නා නෑනයි මස්සිනයි තමයි වෙන්නේ. මේ පවුල් දෙක එක හේතුවක් නිසා ටිකක් හිත් අමනාපෙන් ඉන්නේ. ඒත් අනසුයා මෙහෙට ගියාට පස්සේ මේ ගමට එයාගේ හිත ඇදිලා යනවා. ගමට කිව්වට ගමටත් වඩා ආනන්ද් විහාරිට.
ඇත්තටම මේ පවුල් දෙකේ අමනාපකමට හේතුව මොකක්ද? අනසුයා ට ආනන්ද් කැමති වෙයිද? ඒකටත් මේ ආරවුල බලපායිද? තව මොන වගේ බාධා ඇති වෙයිද? ඒවා නම් ඉතින් ෆිල්ම් එක අරගෙනම තමයි බලන්න වෙන්නේ.
මේ ෆිල්ම් එකට උපසිරැසි ගොනුවක් ඇවිල්ලා තිබ්බේ බෙංගාලි භාෂාවෙන් විතරයි. ඉංග්‍රීසි එකක් දාලා තිබ්බට ඒකත් බෙංගාලි උපසිරැසිය ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා තමයි දාලා තිබ්බේ. කොහොම හරි වැඩේ අතාරින්නෙ නැතුව ඒ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව අරගෙන තමයි මේක දුන්නේ. ඒ නිසා සමහර විට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුලුවන්. ඒ උපසිරැසියේ කාළ රාමු හරියට නැති නිසා පළවෙනි වතාවට කාළ රාමුත් හදාගෙන උපසිරැසිය කරන්න වුනා. ඒකට ඉතින් දවස් 3 ක් එකදිගට මහන්සි වුනා. හොඳ උපසිරැසියක් ආවම අප්ඩේට් එකක් දාන්නම්. හිත හදාගන්න අදහසකුත් පළකරගෙන යන්න.
ඔබට ජය!

Thursday, March 16, 2017

Tadakha 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න තවත් තෙළිගු උපසිරැසියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටුකිරීමක් විදිහටයි ඉදිරිපත් කරන්නේ. මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න රොයිලි අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. බාර ගෙන නම් ටික කාලයක් ගියා. මොකද උපසිරැසි ගොනුවක් ආවේ මේ අවුරුද්දේ නිසා. මේ ෆිල්ම් එක Vettai කියන දමිල ෆිල්ම් එක තෙලිගු වලින් ප්‍රති නිර්මාණය කිරීමක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kishore Kumar Pardasani විසින්. මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායකත්වය දක්වන්නේ Tamannaah (පල්ලවී), Naga Chaitanya (කාර්තික්),Andrea Jeremiah(නන්දු), Sunil Varma (ශිවා) සහ Ashutosh Rana (බග්ගා) විසින්. ඒ වගේම විහිළු සපයන්නේ Brahmanandam විසින්.
කතාව ගැන කියනවනම්, කාර්තික් සහ ශිවා කියන්නේ සහෝදරයෝ දෙන්නෙක්. ශිවා තමයි අයියා. හැබැයි මූ හැම දේකටම පණ බයයි. මොනා සිද්ධ වුනත් ගිහිල්ලා කියන්නේ මල්ලිට. මල්ලි නම් කිසි දේකට බය නෑ. ගේමෙන් නම් ගේමෙන් වගේ පොරක්. මෙයාලගේ තාත්තා පොලිස් නිළධාරියෙක්. හදිස්සියේම එයා මිය යනවා. ඉතින් මේ පොලිසියේ නියමයක් තියනවා, යම් කෙනෙක් පොලිස් රාජකාරියේ සිටියදී මැරුණොත් එයාගේ රැකියාව දරුවෙක්ට ලබා ගන්න පුලුවන් විදිහේ. ඒ අනුව මේ රැකියාව ශිවාට තමයි ගන්න වෙන්නේ. මොකද කාර්තික්ට විරුද්ධව පොලිසියේ පැමිණිලි තියෙන නිසා. ශිවා, මල්ලිගේ කීමට අකැමැත්තෙන් හරි කැමති වෙනවා. දැන් තමයි ප්‍රශ්නේ පටන්ගන්නේ. ශිවාට පත්වීම ලැබෙන්නේ බග්ගා නැමති මුලු මුහුදේම තම බලය පතුරුවාගෙන ඉන්න මැරයෙක් ඉන්න පළාතක. ශිවාට පළවෙනි රාජකාරිය විදිහට ලැබෙන්නේ කාශි නැමති බග්ගාගේ ලඟම හිටපු කෙනෙක් උස්සගෙන ගිය ළමයෙක්ව බේරගෙන එන්න. කොහොම හරි කාර්තික්ගේ උදව්වෙන් ඒ වැඩේ නම් කරගන්නවා. හැමදාම මේ සෙල්ලම කරන්න බෑ නේ. ඔය මැරයන්ට මේ සෙල්ලම මාට්ටු වෙනවා.
ඔය අතරේ මේ දෙන්නගේ මාමා කෙනෙක් ශිවාට මනමාළියෙක් බලන්න යන්න ලෑස්ති කරනවා. මූ කොච්චර බයයිද කියන්නේ මනමාළිව බලන්න යන්නත් බයයි. කොහොම හරි මල්ලිව යවනවා මෙයාව බලන්න. මල්ලි කැමති වුනොත් ඒ ගැහැණු ළමයාව කසාද බඳින්නම් කියනවා. එ් ගියාම තමයි කාර්තික්ට පල්ලවීව මුණගැහෙන්නේ. තව හරි හරි වැඩ සිද්ද වෙනවා මේ ගෙදරදී.
ඉතින් මේ අයට බග්ගාව මුණගැහෙන්නේ කොහොමද? කාර්තික්ගෙයි පල්ලවීගෙයි පළහිලව්වට මොකද වෙන්නේ? ශිවා දිගටම බයගුල්ලෙක් විදිහට ඉඳියිද? ඒවට උත්තර ෆිල්ම් එක බලලම හොයා ගන්න.
එහෙනම් අදහසකුත් දාගෙන යන්න. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!
සැ.යු. – මෙම චිත්‍රපටය සඳහා තවම එච් ඩී පිටපතක් නිකුත්වී නොමැති අතර 2016 වසරේදී හින්දි භාෂාවෙන් හඬකැවූ පසු හින්දි හඬකැවූ පිටපත සඳහා එච් ඩී පිටපතක් නිකුත් වී තිබේ. තවද මෙම තෙළිගු චිත්‍රපටය සඳහා ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් තවමත් නිකුත් වී නොමැති අතර ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් නිකුත් වී ඇත්තේ හින්දියෙන් හඬකවන ලද පිටපත සඳහා පමණි. මෙම සිංහල උපසිරැසිය නිකුත් කර ඇත්තේ එම හින්දි ගොනුවට අදාලවය. පසුව එය Thadaka(2013) 1 CD X264 DTH Rip පිටපතට සහ cloudy.ec/v/5adb7e3cade65 යන ලිපිනයෙහි ඇති පිටපතට අදාලව ටයිම් ලයින් සකසා ගැලපෙන පරිදි දෙබස් සකසා තිබේ. නමුත් තෙළිගු පිටපතට අදාලව දෙබස් වල සුලු නොගැලපීම් තිබිය හැක. ඉදිරියේදී තෙළිගු පිටපත සඳහා එච් ඩී කොපියක් ආවොත් ඒ සඳහා උපසිරැසි ගොනුව යාවත්කාලීන කරන්නම්.

Wednesday, March 15, 2017

Ghulam 1998 Sinhala Subtitle | සිංහල උපසිරැසි


මේ ෆිල්ම් එක ගැන කියන්න කලින් මේක අහලා තියෙනවද බලන්නකෝ.
” ඒයි, ක්යා බොල්ති තූ.
ඒයි, ක්යා මේ බෝලෝ.
සුන්, සුනා,
ආති ක්යා කණ්ඩාලා
ක්යා,කරූන්, ආකේ මේ කණ්ඩාලා,
අරේ ගුමේන්ගේ පිරේන්ගේ නචේගේ ගඒන්ගේ
ඒශ් කරෝන්ගේ ඕර් ක්යා…”
ඔන්න ඔය සින්දුව තියන ෆිල්ම් එකට සබ් තියනවද කියලා බලද්දි තමයි මේකට සබ් එකක් නෑ කියලා දැනගත්තේ. මේ ගැන අහනකොට ඉක්මනින්ම ප්‍රතිචාර දක්වපු සමන් ප්‍රසාද් සහෝදරයාට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. (මේ හාදයා තමයි මේ දවස්වල බයිස්කෝප් සයිට් එකේ වැඩ රෑ දවල් නොබලා කරගෙන යන්නේ)  ඉගෙනීම් කටයුතුත් කරන අතරතුර පුලුවන් තරම් ඉක්මනින් උපසිරැසිය කරලා අරගෙන ආවා.
මේ ෆිල්ම් එක ගැන කියනවානම්, IMDb දර්ශකයේ තවමත් 7.4 ක් වැනි ඉහල මට්ටමක රැඳී තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vikram Bhatt විසින්. ඒ වගේම ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ, Aamir Khan(සිද්ධු), Rani Mukerji(අයිෂා) සහ Deepak Tijori . මෙම චිත්‍රපටය වසරේ හොඳම දරශනය(Scene)ට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත්තා. ඒ වගේම හොඳම චිත්‍රපටය, හොඳම නලුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම දුෂ්ධ චරිතය වගේම අමීර් කාන් හටත් හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානය සඳහා නාම යෝජනා ලැබුනා.
කතාව ගැන කියනවනම්, සිද්ධාර්ත් නොහොත් සිද්ධු නැමති තරුණයා මුම්බායි වල බොක්සිං ශූරයෙක්. ඒ වුනත් මගෝඩි වැඩ කර කර තමයි ඉන්නේ. චිත්‍රපටය පටන්ගන්නෙත් හොරකමක් සම්බන්ධ නඩුවකින්. මෙයාගේ අයියා(ජයදේව්) රෝනක් සිං නැමති නමගිය අපරාධකාරයාගේ ගිණුම් කටයුතු භාරව ඔහුගේ දකුණු අත මෙන් ඉන්න කෙනෙක්. ඔය අතරතුර සිද්ධු රෝනක් සිංවත් මුණගැහෙන්න එනවා. එයාගේ පොඩි පොඩි වැඩත් කරලා දෙනවා. මෙයාලා මෙහෙම වුනත් මෙයාලගේ තාත්තා ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. එයාගේ තාත්තා නිතරම කියපු දෙයක් තමයි,
“සැඩපහරත් එක්ක, ඕනෑම කෙනෙකුට පිහිනන්න පුලුවන්..
ඒත් නියම මනුස්සයා මොහුයි…
ඒ සැඩපහර මැඩගෙන, ඉදිරියටම යන කෙනා යි…”
මේ අවවාදයත් ඔහුගේ හිතේ නිතරම රැව් දෙනවා. ඔය අතරේ මෙයාගේ යහලුවෙක්ට රෝනක් සිංගෙන් ලොකු කරදරේකට මුහුණ පාන්න වෙනවා. ඒකත් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නේ. මොහු රෝනක් සිංට විරුද්ධව නැගී සිටියිද? මෙයාට අයිෂාව මුණගැහෙන්නේ කොහොමද? මේ දෙන්නගේ ආදර කතාව කොහොම වෙයිද? ඒවනම් කියන්නේ නෑ. කුතුහලයකුත් තියෙන්නෙපැයි.
ආ… තව දෙයක් කියන්න ඕන. මේකේ තවත් ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා. ඒ අතරිනුත් හිතට වැදිච්ච ගීතයක් තමයි මේක.
“ජාදු හේ, තෙරාහි ජාදූ, ජෝ මෙරේ දිල් පෙ චානේ ලගා,
ජාදු හේ, තෙරාහි ජාදූ, ජෝ මෙරේ දිල් පෙ චානේ ලගා,
දීවානේ මේරා යෙහ් බතා ක්යා කියා තූනේ, මිතා සා ධර්ද හෝනේ ලගා.
යේ ක්යා හුවා, පෙහෙලේ නා ඒසා හෝතා තා, මේහු කහා මේ ජානු නා
යේ ක්යා හුවා, පෙහෙලේ නා ඒසා හෝතා තා, මේහු කහා මේ ජානු නා
කොයි මුජේ ඉත්නා බතා දේ, ඝර්කා මෙරේ මුජ්කෝ පතා දේ…”
බය වෙන්න එපා හැම ගීතයකටම උපසිරැසි ලබා දීලා තියෙන්නේ. මේ ෆිල්ම් එකට නම් හොඳ එච්.ඩී කොපි ඇවිල්ලා තියෙන්නේ. තව ලස්සන සින්දු තියෙන ෆිල්ම් හරි සබ් නැති මොනා හරි ෆිල්ම් තියෙනවනම් කමෙන්ටුවකින් දාගෙන යමු. ෆිල්ම් එක ගැනත් අදහසක් පලකරගෙනම යන්න. ෆිල්ම් එක බලන්න පැය දෙකක් තුනක් තියෙනවනම් අදහසක් දාන්න විනාඩියක් දෙකක් නැති වෙන්න විදිහක් නෑ නේ… එහෙම කිව්වේ අපිට දවස්ගානක මහන්සිය නිවා ගන්න ඕක තමයි තියෙන්නේ. සැරින් සැරේ ඇවිල්ලා බලනවා කීයක් ඩවුන්ලෝඩ් කරලද? කීයක් කමෙන්ට් වැටිලද කියලා… දානවට දාන්නත් එපා. හදවතින්ම අදහසක් පලකරලා යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

Kaavalan 2011 Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! ඔන්න මගේ තුන්වන උපසිරැසියෙන් තවත් ආසාවක් සම්පූර්ණ කර ගත්තා. ඒ තමයි විජෙයි ඉන්න බයිස්කෝප් එකකට සබ් එකක් දෙන එක. මේකට උදව් කරපු හැමෝටම ස්තූතිය පල කරමින් ම පටන්ගන්නම්.
මේ බයිස්කෝප් එකටත් IMDb දර්ශකයේ 7.1 ක් වැනි ඉහළම අගයක් ලැබිලා තියනවා. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එක ගැන. ඉන්දියාවේ සම්මාන උළෙලවල් වල සම්මාන සඳහා නාම යෝජනා ද ලබා ඇති මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Siddique විසින්, ප්‍රධාන චරිත දෙක සඳහා දායක වෙලා තියෙන්නේ Vijay(භූමිනාදන්) සහ Asin(මීරා). මේ බයිස්කෝප් එකේ විහිළු සපයන්නේ අංක එකේ විහිළුකාරයෙක් වන Vadivelu විසින්. ගීත දර්ශක වල කාලයක් ඉහළම රැඳි ගීත කිහිපයක් පවතින මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vidyasagar විසින්. ඒ් සියලුම ගීත වලටද උපසිරැසි ලබා දීමට හැකියාව ලැබීමත් වාසනාවක්.
කතාව ගැන කියනවා නම්, භූමිනාදන්(Vijay) කියන්නේ, ගමේ රස්තියාදු ගගහා රණ්ඩු වලට පැටලෙමින් කාලය ගතකරන කෙනෙක්. මේකට එයාගේ දෙමවුපියෝ නම් කැමති වුනේ නෑ. ඒ අයගේ මතයක් තියනවා ළමයෙක්ට නම දාපු කෙනා අනුව තමයි, ඒ ළමයත් හැදෙන්නේ කියලා. මෙයාට නම දාලා තියෙන්නේ මැරකම් කර කර හිටිය කෙනෙක්. මෙයාව හදන්න වෙන්නෙත් එයාටමයි කියලා හිතන දෙමවුපියෝ මුත්තු රාමලිංගම් කියන ඒ කෙනා ගාවට බොරුවක් කියලා මෙයාව යවනවා. හැබැයි මෙයාව යවන්නේ එයාගේ බොඩිගාඩ් විදිහට කෙනෙක් හොයනවා කියලා.
මේ බොරුවට අහුවෙලා ඒ ගමට ගිය භූමිනාදන් තවත් බොරුවකට අහුවෙනවා. ඒ හරහා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.  ඒත් එයාට මීරා මුණගැහෙන්නේ කොහොමද? මෙයා දාමරිකකම් නවත්වයිද? ඒවා ඉතින් බයිස්කෝප් එක බලලම තමයි හොයා ගන්න වෙන්නේ.
සැයු. මෙම උපසිරැසිය සමග tamilyogi.cc වෙබ් අඩවියේ පිටපත සඳහා ද ගැළපෙන උපසිරැසි ගොණුවක් ද ඇතුලත් කර තිබේ.
තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය!!!

Monday, March 13, 2017

Pilla Zamindar 2011 Sinhala Subtitle | සිංහල උපසිරැසි


හැමෝටම ආයුබෝවේවා! ඔන්න මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය අරගෙන ඔයාලව මුණගැහෙන්න ආවා. ගියපාර දෙමළ චිත්‍රපටයකට සබ් දුන්න නිසා මං හිතුවා මේ පාර තෙලුඟු චිත්‍රපටයකට සබ් එකක් දෙන්න. ඇත්තටම කියනවනම් ලයින් 2150 ක් විතර තිබ්බ නිසා මේකත් ලේසි වුනේ නෑ. ඇත්තටම මම උපසිරැසි නිර්මාණය කරන්න හිතපු ගොඩක් චිත්‍රපට භාරගෙන තිබ්බේ. දන්නවනේ ඉතින් අපේ බයිස්කෝප් සහෝලගේ වැඩ කිඩ. ඇති යන්තම් මේක ඉතුරු වෙලා තිබ්බා.
දැන් චිත්‍රපටය දෙසට හැරෙමු. තෙලුඟු සිනමාවේ කවුරුත් දන්නා නානි(පී.ජේ) සහ හරිප්‍රියා(සින්ධු) තමයි ප්‍රධාන චරිත දෙකට දායක වෙලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.5 ක් වැනි ඉහලම අගයක්  ලැබී තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  G.Ashok විසින් වන අතර V.Selvaganesh විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා. ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුලත් මේ චිත්‍රපටයේ සියලුම ගීත වලට උපසිරැසි ලබාදීමටත් හැකියාව ලැබුණා.
කතාව දෙසට හැරෙනවනම්, පී.ජේ කියන්නේ කොටි 5000 ක එකම උරුමක්කාරයා. උරුමක්කාරයා කිව්වට තාම ලැබිලා නෑ. එයාගෙ සීයට තමයි ඒක අයිති. සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන මෙයා උදේට නැගිටින්නේ දවසෙන් බාගයක් ගියාට පස්සේ. තැබෑරුම් වල, පාටි වල යාලුවොත් එක්ක කාලය කා දමන මෙයාට ප්‍රශ්නෙ පටන් ගන්නේ සීයා මැරුණට පස්සේ. සීයගේ අන්තිම කැමති පත්‍රයේ ලියලා තියෙන්නේ, එයාට ඒ ධනය ලබා ගන්න ඕන නම් සිරිපුරම් කියන පිටිසර ගම්මානයේ තිබෙන රාජන්නා කියන හමුදා නේවාසිකාගාරයේ නැවතිලා රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගත යුතුයි කියලා. තව කොන්දේසි ටිකක් තියනවා ඒවා දැක්කම තමයි මෙයාට තරු විසි වෙන්නේ. ඒ කොන්දේසි මොනාද? සින්ධුව මුණගැහෙන්නේ කොහොමද? මේවට උත්තර චිත්‍රපටය බලලම හොයාගන්න. කලින් දැනගත්තම ඒක රසවින්දනයට බාධාවක් වෙනවනේ.
ඔයාලගේ අදහස් නම් ගොඩක් වටිනවා. ගියපාර තිබ්බ කමෙන්ට් නිසා තමයි තව සබ් ගහන්න හිතුනේ. එහෙනම් තවත් සබ් එකකින් හමුවෙමු. ඔයාලට සබ් ඕන චිත්‍රපට තියනවනම් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් බයිස්කෝප් අඩවියට පිවිසෙන සියලු දෙනාට ජය වේවා!

Friday, March 10, 2017

Deepavali 2007 Sinhala Subtitle | සිංහල උපසිරැසි



මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සහෝලගේ වැඩ දැකලා ආසාවට තමයි පටන් ගත්තේ. පටන් ගත්තට පස්සේ තමයි තේරුණේ සහෝලා කොච්චර මහන්සි වෙනවද කියලා සබ් එකක් දෙන්න. මේකත් ලේසි වුනේ නෑ. ලයින් 1955 ක් තිබ්බා. ඒත් වැඩේ අතෑරියේ නෑ. කොහොම හරි වැඩේ ඉවර කරා. ලිපිය දාලා ෆිල්ම් එක ගැන අහපු ගමන් ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වූ හසන්ත සහෝ ට මාගේ ස්තූතිය. දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.
මේකේ ප්‍රධාන චරිත දෙක තමයි බිල්ලු සහ සුසී. බිල්ලුගේ චරිතයට දායක වෙන්නේ Jayam Ravi. ඒ වගේම සුසීගේ චරිතයට දායක වෙලා තියෙන්නේ Bhavana. ප්‍රධාන චරිත දෙක දැක්කම ෆිල්ම් එක ගැන හිතා ගන්න පුලුවන්නේ. මේ ෆිල්ම් එකේ ඉතාම ජනප්‍රිය වුනු Kadhal Vaithu, Kannan Varum Velai, Dhol Bhaje වගේ ගීත කිහිපයක්ම තියනවා.
දැන් කතාව ගැන බලමු. රෝයපුරම් කියන ගම්මානයේ ප්‍රධානියා තමයි මොයිලයාර් කියන්නේ. එයාගේ පුතා තමයි බිල්ලු. එයාලා මැඩ්‍රාස් වල සල්ලි තියන හැබැයි සාධාරණව ජීවත්වෙන පවුලක්. ඒ නිසාම ගමේ අය බිල්ලුට ගොඩක් ආදරෙයි. අල්ලපු ගෙදරට එන අමුත්තෙක් එක්කන් එන්න බිල්ලුට යන්න වෙනවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේදි එක කෙල්ලෙක්ව දැක්ක ගමන් බිල්ලුගේ හිත ඇදිලා යනවා. බලද්දි මෙයා තමයි සුසී. ඉතින් ඊට පස්සේ මේ දෙන්නගේ ආදර කතාව පටන් ගන්නවා. සුසීගේ තාත්තා බැංගලෝර් වල ප්‍රසිද්ධ මැරයෙක්. මේ දෙන්නගේ ආදර අන්දරයට කොහොම මේක බලපායිද? සුසී මැඩ්‍රාස් වලට ආවේ ඇයි? ඒවට උත්තර හොයන්න නම් ෆිල්ම් එක අරන් ම බලන්න වෙනවා. එහෙනම් ඉතුරුටික ෆිල්ම් එක අරගෙනම බලන්න. පළමු උපසිරැසිය නිසා ඔයාලගේ අදහස් ගැන දැනගන්න වගේම වැරදි ඇතොත් පෙන්වා දෙනවානම් කැමතියි…

අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි