Friday, May 28, 2021

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

 


ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රපටය බාගන්න කියලා, මොකද මට නම් හොඳටම සෙට් වුනා මේ චිත්‍රපටය. දැනට IMDb දර්ශකයේ 8.6 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙන මේ චිත්‍රපටය නම් සම්පූර්ණයෙන්ම කුතුහලය පිරුණු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම අපි කාලය හරහා සම්බන්ධ වෙන කතා දැක්වෙන ඕනෑ තරම් ඉංග්‍රීසි චිත්‍රපට බලලා ඇති මං දන්න විදිහට මේක තමයි කාලය හරහා සම්බන්ධතා පැවැත්වීම ගැන කියවෙන පළමු තෙලුගු චිත්‍රපටය. 


2021 මාරුතු 05 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර පිටපත සිදු කර තිබෙන්නේ Hari Prasad Jakka විසින්. Arjun Kalyan, Ananya Nagalla සහ Spandna Palli ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වනවා. පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්න කැමති නැති කට්ටිය ඉතුරු ටික කියවන්නේ නැතුව සබ් එකත් බාගෙන කමෙන්ටුවකුත් දාගෙන යන්නලා. මෙම චිත්‍රපටය පුරා දිවෙන්නේ අමුතු දුරකථන ඇමතුමක් එහෙමත් නැත්නම් කාලය හරහා ලැබෙන දුරකථන ඇමතුමක් හා ඒ වටා ගෙතෙන කතාවක් ගැන. ටිකක් විතර කිවුවොත් චින්නු කියන්නේ අපේ කතා නායකයා. මෙයාට ආසාව තියෙන්නේ මාධ්‍යවේදියෙක් වෙන්න. අනාථ දරුවෙක් විදිහට හැදෙන මේ චින්නුට මාධ්‍යවේදියෙක් වෙන්න උත්සහ කරනකොට වුන ඇබැද්දියක් නිසා කුලීයට හිටිය ගෙදරින් යන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම යන්නේ අවුරුදු ගානක් පරණ ගෙදරකට. ඉතින් මේ ගදරට ගිය අලුත මේ ගෙදර තියෙන පරණ දුරකථනයට ගෑණු ළමයෙක්ගෙන් කෝල් එකක් එනවා. වැරදි නම්බර් එකක් කියලා තිබ්බත් මොකද ඒ ෆෝන් එකෙන් ගන්න හැම කෝල් එකක්ම එන්නේ මේ චින්නු ඉන්න ගෙදර තියන ෆෝන් එකට. ඉතින් චින්නුට අමුත්තක් දැනුනත් දවසක් දෙකක් කතා කර කර ඉන්නකොට ගෙදර අයිතිකාරයා ඇවිත් අහනවා මෙයාට පිස්සුද කියලා. මොකද ඒ දුරකථනය විසන්ධි කරලා අවුරුදු 25කටත් වඩා වන නිසා. 


ඒ කෝල් කරපු ගෑණු ළමයා කවුද? මේ දුරකථනයේ ඇති විශේෂත්වය මොකක්ද? තව විසඳගන්න ප්‍රශ්න ගොඩයි.  ඉතින් මේ කුතුහලය පිරුණු කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරමින් අදට සමු ගන්න්න ගමන් මේ චිත්‍රපටය ගැන ඔත්තුව දුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියනවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!



Friday, May 21, 2021

Cinema Bandi (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

 


ආයුබෝවේවා! තවත් තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද ඇවිත් ඉන්නේ. මුලින්ම කියන්න ඕනේ  සම්ප්‍රධායික චිත්‍රපට කලාවෙන් මිදුණු චිත්‍රපටයක් නිසා වෙනස් විදිහේ චිත්‍රපට බලන්න කැමති අයට තමයි මේක හරියන්නේ. විශේෂයෙන් මලයාලම් චිත්‍රපට ආරට කැමති අයට නම් මේක මැණිකක්. Praveen Kandregula ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය කෝඩුකාර රංගණ ශිල්පීන් බොහෝ දෙනෙක්ගෙන් සමන්විතයි. තිර රචනය Vasanth Maringanti ගෙන්. සංගීතය  Satyavolu Sirish සහ Varun Reddy ගෙන්. පවතින කොරෝනා වසංගතය හමුවේ 2021 මැයි 14 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදා හැරුණු මෙම චිත්‍රපටයට මේ වන විට IMDb දර්ශකයේ 8.2ක අගයක් ලැබී තිබෙනවා. 

ගැමි පරිසරයක් වටා ගෙතෙන මෙම චිත්‍රපටය පුරාම දිවෙන්නේ කැමරාවක් නිසා ඇතිවුන සිදුවීම් පෙළක් ගැන. වීරා කියන්නේ දුෂ්කර ගමක ත්‍රීවිල් රියදුරෙක්. හැම වෙලාවෙම ගම ගැනමයි කතාව. ගම පහත් කරලා කතා කරනවාට කොහෙත්ම කැමති නෑ. කවදා හරි ගම දියුණු වෙයි කියන මතය හිතේ දරාගෙන ඉන්න මේ වීරාට දවසක් ත්‍රීවිල් එකේ දාලා ගිහින් තිබිලා කැමරාවක් හම්බවෙනවා. කැමරාවක් කිවුවට නිකන්ම නිකන් කැමරාවක් නෙවෙයි. ලක්ෂ ගානක් වටින, චිත්‍රපට නිෂ්පාදනයට යොදා ගන්නා මාදිලියක කැමරාවක්. ඉතින් මේ කැමරාව විකුණන්න හිතන් ඉන්න වීරාට ටීවී එකේ ගිය ප්‍රවෘත්තියක් හිතට වදිනවා. ඒ තමයි ඉස්සරට වඩා දැන් පොඩි පොඩි චිත්‍රපට, මහා පරිමාණ චිත්‍රපට වලට වඩා සාර්ථක වන බව ගැන කියවුන ප්‍රවෘත්තියක්. ඉතින් වීරාටත් හිතෙනවා මේ කැමරාව විකුණන්නේ නැතුව  පොඩියට චිත්‍රපටියක් කරන්න. ඉතින් මේ අහිංසක ගැමි හිතේ ඇතිවුන ඒ සිතුවිල්ල මල්ඵලගන්වා ගන්න දරණ උත්සාහය ගැන තමයි මේ විනාඩි 98ක් පුරා දිවෙන චිත්‍රපටයෙන් කියවෙන්නේ. එහෙනම් වෙනස් චිත්‍රපට වලට කැමති හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න කියලා ආරාධනා කරපු අශාන් විමුක්ති සහෝදරයාට වගේම මුහුණු පොතෙන් ඉල්ලීම් කරපු අයටත් බොහොම ස්තූතියි කියමින් අදට සමුගන්නවා. ඒ වගේම චිත්‍රපට බලලා ගුණදොස් කියන්න කියලත් හැමෝටම ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!


Saturday, April 17, 2021

Uppena (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

 


ආයුබෝවේවා! තවත් තෙලුගු Romantic Drama කාණ්ඩයට අයිති වුන චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි කාලෙකින් ආවේ. සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Sukumar විසින්  Naveen Yerneni සහ Y. Ravi Shankarගේ දායකත්වය  ඇතිව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන අතර තිර පිටපත් රචනය හා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ තම කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙසින් Bucchi Babu Sana විසින්. සංගීතය  Devi Sri Prasad ගෙන්. Panja Vaisshnav Tej සහ   Krithi Shetty ප්‍රධාන නලු නිලි යුවල තම සිනමා ජීවිතයේ ප්‍රධාන චරිතයකට පණ පොවන පළවෙනි චිත්‍රපටයත් මෙයයි. ඒ වගේම අති දක්ෂ චරිතාංග නළු Vijay Sethupathi විසින් ද ප්‍රධාන චරිතයකට පණ පොවනවා. මේ චිත්‍රපටය 2020 අප්‍රේල් මාසයේ නිකුත් කිරීමට තීරණය කර තිබුණත් කොරෝනා වසංගතය හමුවේ නිකුත් කරන්න වුනේ 2021 පෙබරවාරි මාසයේදියි. 
මේ චිත්‍රපටය ගැන නම් විශේෂ කාරණා කිහිපයක්ම කතා කරන්න  තියෙනවා. කොරෝනා වසංගතය හමුවේම නිකුත් කළත් වාර්තා පිට වාර්තා තැබුවේ කාගෙත් අවධානය මේ චිත්‍රපටය පැත්තට යොමු කරගනිමින්. 

- ඉන්දියානු රුපියල් කෝටි 22 ක වියදමින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මාසයක් ගතවෙද්දී කෝටි 85කට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. 

- රොමෑන්ස් ශානරයේ දකුණු ඉන්දියන් චිත්‍රපටයක් ලබාගත් තුන්වන වැඩිම බොක්ස්ඔෆිස් ආදායම  වන අතර  මෙයට ඉදිරියෙන් පසුවන්නේ GeethaGovindam ( 130cr ) සහ Fidaa (92cr ) චිත්‍රපට දෙක පමණයි. 

- තම කුළුඳුල් චිත්‍රපටයේදී ( Debut ) නලුවෙක් ඉන්දීය සිනමාවේ ලබාගත් දෙවනි වැඩිම බොක්ස්ඔෆිස් ආදායම මෙය ලෙස සැලකෙනවා. එය දෙවනි වන්නේ වරුන් ධවාන් සහ සිද්ධාර්ත් රඟපෑ Student Of The Year (2011) චිත්‍රපයට පමණයි.  

- Uppena අතිසා‍ර්ථකවීම නිමිත්තෙන් Mythri Movie Makers සමාගම විසින්  වයිශ්නව් තේජ්හට ඉන්දියානු රුපියල් කෝටියක්ද ,  ක්‍රිති ශෙට්ටි හට ලක්ශ 50ක්ද ,  අධ්‍යක්ශක බුචී බාබු හට බෙන්ස් කාරයක්ද ත්‍යාග වශයෙන් ලබා දී තිබෙනවා.

- ඒ වගේම චිත්‍රපටය සාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් DSPගේ සංගීතය. එහි එන සියලුම ගීත ජනප්‍රිය වනවා. විශේෂයෙන් "Nee Kannu Neeli Samudram" ගීතය අතිශය ජනප්‍රිය වෙන්නේ කාගෙත් සිත් ඇද බැඳ තබා ගනිමින්. එම ගීතිය නම් තවත් බොහෝ කාලයක් ගොඩක් දෙනෙක්ගේ කැමතිම ගීත ලැයිස්තුවේ තියේවි. 

- 17 හැවිරිදි ප්‍රධාන නිලි ක්‍රිති ශෙට්ටි දැනටමත් තරුණයින් අතර උන්මාදයක් වී හමාරයි. 


කතාව ගැන බැලුවොත් බේබම්මා එහෙමත් නැත්නම් සංගීතා කියන්නේ ගමේ ප්‍රධාන තනතුරක් දරන කෙනෙක්ගේ දුවෙක්. ආසි කියන්නේ ධීවරයෙක්ගේ පුතෙක්. බේබම්මාගේ තාත්තා හැමදේටම වඩා පවුලේ නම්බුව ගැන හිතන කෙනෙක්. ධීවරයෙක් වන ආසිගේ තාත්තා වැඩ කරන්නේ ඒ රායනම් යටතේයි.  ආසි පොඩි කාලේ ඉඳන්ම මේ රුවැත්තියට කැමැත්තෙන් බලන් ඉන්නවා. කවදාවත් ගමට ආවෙ නැති බස් එක බේබම්මාව කොලේජ් එක්කන් යන්නම ගමට එනවා. ඒ බස් එක එනකල් ආසිත් බලන් ඉන්නවා. හැමදාම බස්එක පස්සෙන් ගියත් බේබම්මාට මුහුණ දෙන්නෙත් නෑ. කතා කරන්නෙත් නෑ. ඉතින් මේ ආදර කතාව කොහොම පටන්ගනියිද,  ලොකුම බාධාව වෙන්නේ මොකක්ද කියන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ගමන් චිත්‍රපටයත් නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. 

අවසාන වශයෙන් චිත්‍රපටයේ වාර්තා ටික හොයාගන්න උදව් කරපු තිමාල් ප්‍රනාන්දු සහෝදරයාටත් බොහොම ස්තූතියි කියමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!


අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි