Saturday, August 31, 2019

Dear Comrade (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


කොම්රේඩ් කියන්නේ මොකක්ද සීයේ?

ඔයාගෙ අයිතිය වෙනුවෙන් ඔයා සටන් කරන්න ඕන.

ඒක ඔයා ධෛර්යවන්තව ඉල්ලන්න ඕන.

ඒ වෙනුවෙන් ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඕන.
ඒක ලබාගැනීම වෙනුවෙන් ඔයාගේ ගමන් මාර්ගයේ ඇවිත් ඔයාට උදව් කරන කෙනාට තමයි කොම්රේඩ් කියන්නේ.


ආයුබෝවේවා! ඔන්න තවත් හැමෝම ආසාවෙන් බලන් හිටපු තෙලුගු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ඇමේසන් ප්‍රයිම්ලා ඩිජිටල් අයිතිය අරන් තිබ්බ වාසනාවට අපිටත් මෙච්චර ඉක්මනට චිත්‍රපටය බලන්න වාසනාව උදා වුනා. 😃 2019 ජූලි 26 තිරගත කිරීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Drama, Romance කියන කාණ්ඩ වලට. Bharath Kamma අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට යොදාගෙන තිබෙන්නේ මෑත කාලයේ වැඩිපුරම කතා බහ වෙන, කාන්තා පාර්ශවයේ නොමද ආකර්ශනය දිනා ගත් Vijay Devarakonda සමඟින් පිරිමි පාර්ශවයේ නොමද ආදරය දිනා ගත් සුරූපී, හුරුබුහුටි Rashmika Mandanna. අතිශය ජනාදරය දිනා ගත් Geetha Govindam චිත්‍රපටයේ හිටිය දෙන්නව මතක නැති වෙන්න විදිහක් නෑනේ. බලලා නැත්නම් අනිවා බලන්න. තෙලුගු වලින් නිකුත් කෙරුණු මේ චිත්‍රපටය දමිළ, මලයාලම් වගේම කන්නඩ වලිනුත් හඬකවමින් ප්‍රදර්ශනය කර තිබෙනවා. අපූරු ගීත ඇතුලත් මේ චිත්‍රපටයට සංගීතය මුසු කර තිබෙන්නේ Justin Prabhakaran විසින්. මේ වන විට IMDb දර්ශකයේ 7.1 ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය, සුපිරි හින්දි චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන Karan Johar විසින් හින්දි ප්‍රති නිර්මාණය කිරීමේ අයිතිය ලබාගෙන ඇති බවට සඳහන් වෙනවා.


දැන් කතාව ගැන බලමු. බොබී කියන්නේ ශිෂ්‍ය සංගමයක නායකයෙක්. නිතරම ශිෂ්‍යයන් වෙනුවෙන් කතා කරන මෙයාට තරහා පාළනය කරගන්න බැරි දෝෂයක් තියෙනවා. ඉතින් දවසක් කොලේජ් එකේ ගැහැණු ළමයෙක් ගාස්තු ගෙවා ගන්න බැරිව සියදිවි හානි කරගන්න ගිහින් කියන ආරංචියට පරිපාලනයට එරෙහිව විරෝධතාවයක් පවත්වනවා. හැබැයි පස්සේ දැනගන්නවා ⁣සියදිවි හානි කරගන්න ගිහින් තියෙන්නේ තරුණයෙක්ගේ කරදරයක් නිසා කියලා. ඒක අහපු ගමන් ඇති වුන තරහට ගිහින් ඒ තරුණයා ඇතුලු පිරිසට ගහනවා. ඒ අතරතුරේ පොලිසිය ඇවිත් බොබීවයි යාලුවෝ ටිකයි අරන් යනවා. ඉතින් පොලිසි ගිහින් යාලුවෙක් එක්ක බයික් එකේ එනකොට එකපාරම මුහුණට මුහුණ බස් එකක් එනවා. ඒක මගාරින්න බයික් එක අයිනට ගන්නකොට ඒ පැත්තෙන් කෙල්ලෙක් එනවා. ඒ තමයි ලිලී. ඉතින් එයාවත් මගාරින්න තවත් අයිනට කරනකොට බයික් එක පෙරළෙනවා. ඔන්න ඔය විදිහට තමයි බොබී-ලිලී දෙන්නව මුණගැහෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි කතාව ආරම්භ වෙන්නේ.


ලිලී කියන්නේ පළාත් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවක්. ඒ ගැන බොබී එහෙම දැනගන්නෙත් අපූරු සිදුවීමකින්. ඉතින් කොහොම හරි මේ දෙන්නගේ අාදර කතාව ගලාගෙන යනකොට බොබීගේ ඉක්මන් කෝපය බොහෝසෙයින් ඒකට බලපෑම් ඇති කරනවා. ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ ලිලීට සිද්ද වෙන බලපෑමක් මුල් කරගෙන. සමස්ථයක් විදිහට ගත්තොත් කාන්තාවන්ට සිදු වන අයුතු බලපෑම් ගැන කතා කරලා තියෙන ආදර්ශමත් කතාවක් කියලා කියන්නත් පුලුවන්. ඒ වගේම සින්දු ටිකටත් උපසිරැසි ගන්වලා තියෙන්නේ  කියන එකත් අමතක කරන්න එපා. එහෙනම් මේ සලරුවත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරමින් අදට සමු ගන්නවා. 



තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!



Monday, August 19, 2019

Khamoshi (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ආයුබෝවේවා! කාලෙකින් තමයි හින්දියකට සිංහල උපසිරැසි අරන් ආවේ. මේක  Horror, Thriller කාණ්ඩයට අයිති චිත්‍රපටයක්. ප්‍රධාන නළුවයි නිළිය ගැනයි ඉතින් ආය අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන නෑනේ. Prabhu Deva සමඟින් Tamannaah තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නේ. 2019 ජූනි 14 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  Chakri Toleti විසින්. මේ චිත්‍රපටය Kolaiyuthir Kaalam දමිළ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් වගේම ඒ දමිළ චිත්‍රපටය හදලා තියෙන්නෙත් Hush කියන ඉංග්‍රීසි චිත්‍රපටය මුල් කරගෙන. ට්‍රේලරයට හොඳ ප්‍රතිචාර තිබ්බත් චිත්‍රපටයට නම් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ. සාමාන්‍ය හින්දි චිත්‍රපටයකට වඩා වෙනස් කිව්වොත් නිවැරදියි. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටයක නම් පැය දෙකක්, දෙක හමාරක වගේ ධාවන කාලයක් තියෙනවා. හැබැයි මේ චිත්‍රපටය පැයයි විනාඩි විස්සකට ආසන්න ධාවන කාලයක් තමයි තියෙන්නේ.


කතාව ගැන කිව්වොත් සුර්භි සහ දේව් කියන්නේ සහෝදරයා සහ සහෝදරිය. හැබැයි එහෙම කිව්වට සුර්භි අනාථ නිවාසෙකින් හදාගන්න තමයි අරන් තියෙන්නේ. දේව්ගේ අම්මා දේව් පොඩි කාලෙදි එයාවයි තාත්තාවයි දාලා යන්න යනවා. එහෙම ගිහිල්ලා වෙන විවාහයක් කරගන්නවා. එතනින් එයාට බිලියන ගානක දේපළක උරුමයක් ලැබෙනවා. ඒ විවාහයෙන් ලැබෙන දරුවා අතුරුදහන් වුනාට පස්සේ තව දරුවෙක් හදාගන්න ගන්නවා. එයා තමයි සුර්භි. හැබැයි එයාට කතා කරන්නත් බෑ. ඇහෙන්නෙත් නෑ. අම්මා මැරෙනකොට ඒ බිලියන ගානක දේපළ සේරම සුර්භිට ලියලා තමයි මැරෙන්නේ. ඉතින් දේව්ගේ තාත්තා මේ ගැන කියලා දේව්ගේ හිතේ වෛරයක් ඇති කරවනවා. ඒ වෛරයත් එක්ක ඇවිල්ලා සුර්භිව මරලා දේපළ අයිති කරගන්න තමයි දේව් එන්නේ. ඉතින් ඔය කතාව වැඩිපුරම ගලාගෙන යන්නේ සුවිසල් මන්දිරයක් වටා. ඉතින් මේ මන්දිරයේදි සුර්භිව මරලා දාලා දේව්ට දේපළ අයිති කරගන්න පුලුවන් වෙයිද? ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.


රාත්‍රිය කොතරම් අඳුරු වුනත්...
එළි වීම නවත්තන්න බෑ.
අපි ශක්තිමත්ව හිටියොත් ඇති.
බලාපොරොත්තු නැති කරගන්නේ නැතුව
ජීවත් වෙන්න වෙනවා.
අමාරු කාලයට යන්න දෙන්න වෙනවා.
හොඳ හෙට දවසක් බලාපොරොත්තු වෙන අයව
අතීතයෙන් පරජය කළ නොහැකියි.


තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!


Thursday, August 15, 2019

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


අපි හැමෝටම විවිධ විශ්වාස තියෙනවා.
සමහරු දෙවියන්ව,
සමහරු යක්කුන්ව,
සමහරු භුතයන්ව,
ආදී වශයෙන් නොපෙනෙන බලවේග විශ්වාස කරනවා.
මිනිහෙක්ට භෞතිකව හානි කරනවට වඩා
ඒ මනුස්සයා විශ්වාස කරනදේට හානි කරලා
ඒ මනුස්සයාට රිද්දන්න පුලුවන්,
ඒ මනුස්සයාට හානි කරන්න පුලුවන්.
ඒ නිසා කවුරු කුමක් ඇදැහුවත් 
ඒ දේට හානි කරන්න, විහිළුවකට ගන්න හොඳ නැහැ.

ඔන්න මේ අවුරුද්දේ හිට් වුන තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 ජූනි 21 නිකුත් වුනු මේ චිත්‍රපටය අයත් වන්නේ Action, Comedy, Crime, Thriller  කියන කාණ්ඩ වලට. Swaroop RSJගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට Naveen Polishetty සමඟින් Shruti Sharma රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක් වැනි ඉතා ඉහළ අගයක් ලැබී ඇති මේ චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වෙද්දී ඉතා හොඳ විචාරක ප්‍රතිචාරත් හිමි කර ගන්න සමත්කම් දක්වා තිබෙනවා.

රහස් පරික්ෂකයෙක් වටා ගෙතී යන මේ කතාව මුලදි විහිළුවට බරව තමයි ගමන් කරන්නේ. අත්රෙයා නැමැති රහස් පරික්ෂකවරයා ස්නේහා නැමැති සහයිකාවත් සමග මිනී මැරුම්, හොරකම් ආදි දේවල් විසඳමින් කාලය ගත කරනවා. හැබැයි අත්රෙයා ලොකු වැඩක් හොයමින් ඉන්න අතරේ නාඳුනන මළ සිරුරු වගයක් ගැන ආරංචි වෙනවා. කෝච්චි පාරවල් අවට හමුවෙන මේ මළ සිරුරු ගැන සෝදිසියෙන් ඉන්න කාලෙදි නොසිතූ විිදිහට අත්රෙයාට පොලිස් කූඩුවට යන්න සිද්ද වෙනවා. එහෙදි මහළු මිනිසෙක් කියන දෙයක් නිසා මේ ගැන හොයන්න පටන් ගන්නවා. වැඩේ කරගෙන යද්දි සියල්ල කණපිට හැරෙනවා. මේ රහස් පරික්ෂකවරයා නාඳුනන මළ සිරුරු වල අභිරහස කෙසේ විසඳාවිද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. 

තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!


Tuesday, August 6, 2019

118 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි


වෛද්‍ය පරික්ෂණ කිව්වම මොන වගේ අදහසක්ද හිතට එන්නේ? 
මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල් කියලා නේද?
ඔව්. හැබැයි ඒ දේ ම තමන්ගේ මඩිය තර කරගැනීම වෙනුවෙන් කරන පිරිසකුත් ඉන්නවා.
ඒ වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න වුනත් ඒ අය දෙපාරක් හිතන්නේ නෑ.
මහා පරිමාණ සමාගම් මේ පරික්ෂණ වලට තුන්වෙනි ලෝකේ රටවල් පාවිච්චියට ගන්නවා.
අරමුදල් නමින් එන්.ජී.ඕ. නමින් ඒ රටවල් වලට ඇවිත් නීති විරෝධීව පරික්ෂණ පවත්වනවා.
ඒ පරික්ෂණ නිසාවෙන් මිනිසුන් මිය යනවා.
සාමාන්‍ය මරණයක් වගේ පෙනුනත් ඒවා මිණී මැරුම් නේද?
 ඒ මරණයන්ට වගකිව යුත්තේ කවුරුන්ද?

තවත් තෙලුගුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 මාර්තු 01 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ ගොඩක් අය කැමති Action/Thriller කියන කාණ්ඩයට. K. V. Guhanගේ පළමු තෙලුගු සිනමා අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගණයෙන් දායක වෙන්නේ  Kalyan Ram, Shalini Pandey සමගින් Nivetha Thomas. පුවත්පත් කළාවේදියෙක් වටා ගෙතී යන මේ කතාවට IMDb දර්ශකයෙන් 6.9 ක අගයක් ලැබෙද්දී ප්‍රේක්ෂකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර ලබා ගනිමින් ආදායම් අතිනුත් සාර්ථක වන්නට හැකියාව ලබා ගත්තා. 

කතාව පටන්ගන්නේ හීනෙකින්. ගෞතම් කියන පුවත්පත් කළාවේදියා නවාතැන්පලක 118 කියන කාමරේ නැවතිලා ඉන්නවා. ඒ නැවතිලා ඉන්නකොට එයාට එයාට හීනෙන් පේනවා කාන්තාවක් ලේ තවරාගෙන ඇදගෙන වැටෙනවා. ඒ වගේම තවත් විවිධ දේවල් පේනවා. ඉතින් තවත් දවසක් ඒ කාමරේම නැවතෙන ගෞතම්ට ඒ හීනෙම පේන්න ගන්නවා. මේකේ මොකක් හරි තියනවා කියලා හිතන ගෞතම් දවසක් වාහනේ යද්දි හීනෙන් පෙනුනු විදිහේම තැනක් දකිනවා. ඉතින් ඒ පෙනුනු දේවල් එක්ක සසඳලා බලද්දි ඇත්ත ලෝකෙදිත් ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. මේ ගැන හොයන්න පටන් ගන්න ගෞතම්ට අභිරහස් රැසක් හෙළි වෙනවා. ඉතින් ඒ අභිරහස් වටා ගෙතුනු මේ බයිස්කෝප් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. කිසිම කම්මැළිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලත් කියන්න පුලුවන්.

කිසිම ආකාරයක ඉංග්‍රීසි උපසිරැසියක් නැති නිසා කාළ රාමුත් හදාගෙන අසා ලිවීමක් විදිහට තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඉතින් ඒ වෙනුවෙන් අඩුපාඩු අවම කරගන්න උදව් කරපු චානක ඉඳුනිල් මලයටත් බොහොම තුති කියමින් අදට සමු ගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි