Saturday, July 28, 2018

Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මෙච්චර කල් තෙළිගු ෆිල්ම් බදාගෙන හිටියට, මලයාලම් රසිකයෝ තමයි මම කරපු පළමු මලයාලම් චිත්‍රපටයටම, එදා මෙදා තුර මට ලැබුණු වැඩිම කමෙන්ට්ස් වලින් සංග්‍රහ කරලා තිබුණේ. ඉතින් ඊට ප්‍රති උපකාර කිරීමක් වශයෙන් තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ඕන කියලා හිතලා චිත්‍රපටයක් හොයනකොට තමයි මේක ගැන දැනගන්න ලැබුණේ. විස්තර හොයලා බලනකොට 2017 වසරේ නිකුත් වුන හොඳම මලයාලම් චිත්‍රපට වලින් එකක්. 
2017 ‍දෙසැම්බර් 22 තිරගතකිරීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aashiq Abu විසින්. ඔහුත් සමග එක්ව Santhosh T. Kuruvilla නිෂ්පාදනයට දායකත්වය දක්වා තිබෙනවා. මෑතක නිකුත් වුන Parava චිත්‍රපටය ඇතුලුව චිත්‍රපට ගණනාවකට සංගීතය සපයා ඇති Rex Vijayanවිසින් සංගීතය සපයා තිබෙනවා. චිත්‍රපටය පුරාම අපූරු නාද රටාවන් අසන්නට පුලුවන් වේවි. ඒ වගේම මේ චිත්‍රපටයේ ගීත සියල්ලම වාගේ අතිශය ජනප්‍රිය වුනා. මෙහි එන ප්‍රධාන චරිත දෙක තමයි මැතිව් සහ අපර්ණා. මැතිව් ලෙස Tovino Thomas සහ අපර්ණා ලෙස Njandukalude Nattil Oridavelaසිනමා පටයෙන් සිනමා දිවිය ඇරඹු Aishwarya Lekshmi රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා.
මැතිව් කියන්නේ කාත් කවුරුත් නැති, ජීවත් වෙන්න පොඩි පොඩි ගේම් දිදී ඉන්න කෙනෙක්. අපර්ණා කියන්නේ නිළියක් වෙන්න හීන දකිමින්, උත්සව මෙහෙයවීම් කරලා සල්ලි හොයාගෙන තමන්ගේ අම්මාවත් මල්ලිවත් බලාගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම මැතිව් කියන්නේ ඉගෙන ගන්න කාලේ අපර්ණාගේ කොලේජ් එකේ හිටිය සීනියර් කෙනෙක්. ඉතින් මෙයා සීනියර්ගේ දැලට අහුවෙලා කාලයක් යද්දී එයාගේ යාලුවෙක්ව කොලේජ් එකට දාගන්න මැතිව්ට සල්ලි වගයක් දෙනවා. ඒ වුනාට මැතිව්ට වැඩේ කරගන්න බැරි වෙනවා. එතනින් ඇති වෙන හිත් අමණාප කමක් නිසාවෙන් අපර්ණා, මැතිව් එක්ක විරසක වෙනවා. එතනින් පස්සේ සිදුවන දේවල් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ. තමන්ගේ ආදරය යලි දිනා ගන්නට මැතිව් දරණ උත්සාහයත්, ජීවිතේ ගොඩ දාගන්න කරන වෑයමත්, පොඩි ගේමක් දෙන්න ගිහින් සිදුවූ අත්වැරැද්දක් නිසාවෙන් පසු පස හඹා එන පොලිසියෙන් බේරී, ජීවිතේ පිළිවෙලක් කරගන්න මැතිව්ස් දරන උත්සාහය මේකෙන් බලාගන්න පුලුවන්.
65 වන ෆිල්ම් ෆෙයාර් (දකුණු ඉන්දියානු) සම්මාණ උළෙලේදී හොඳම නළුවා (විචාරක) ලෙසින්Tovino Thomas සම්මාණයට පාත්‍ර වුනා. මෙම චිත්‍රපටය වෙනුවෙන් Rex Vijayan හට හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මාණය හිමි වෙද්දී “Mizhiyil” ගීතය වෙනුවෙන් හොඳම පද රචනයට හිමි සම්මාණය දිනා ගන්නට Anwar Ali හට හැකියාව ලැබුණා. ඒ ටිකම මදෑ ෆිලුම බලන්න. 😛මලයාලම් රසිකයෝ නම් අනිවාර්යයෙන් බලනවා කියලා දන්නවා. අනිත් අයටත් බලන්න කියලා ආරාධනා කරනවා.
මේ චිත්‍රපටයට ඉංග්‍රීසි හාඩ් සබ් තමයි ඇවිත් තිබ්බේ. ඒ නිසා වෙනත් භාෂාවකින් කරලා තිබ්බ සබ් එකක කාළ රාමු අරගෙන ඒකෙත් අඩුපාඩු හදාගෙන තමයි සබ් එක කරේ. සම්මාණ ලබන්නට තරම් සංගීතයක් මේකේ තිබ්බත් හාඩ් සබ් එකේ සින්දු ටිකට ඉංග්‍රීසි සබ් තිබ්බේ නෑ. සින්දු වල ඉංග්‍රීසි පරිවර්ථනයක් හොයාගෙන ඒවට කාළ රාමු අලුතෙන්ම හදලා තමයි සින්දු ටික පරිවර්ථනය කරේ. ඒ නිසා හිතුවට වඩා පොඩි කාලයක් ගත වුනා. තව දෙයක්, පොඩි පොඩි දර්ශන කීපයක් නිසා පවුලේ අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා එක්ක බලන එක එතරම්ම නුවණට හුරු දෙයක් නෙවෙයි. 😛උපසිරැසිය ගන්න ගමන් අදහසක් පළකරගෙන යන්න කියලත් මතක් කරනවා.
තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

Wednesday, July 4, 2018

Mahanati (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි


මේ අවුරුද්දේ මේ වන විට නිකුත්වුන තෙලුගු චිත්‍රපට අතරින් “බ්ලොක්බස්ටර් හිට්” ලේබල් එක අලවගන්න පුලුවන් වුන තවත් චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ආවේ. Biographical කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයෙන් ගෙනහැර දැක්වෙන්නේ 1950,60 දශක වල දකුණු ඉන්දීය සිනමාවේ අනසක පැතිරවූ මහා නිළිය, සාවිත්‍රිගේ ජීවිත කතාවයි. Nadigaiyar Thilagam නමින් දමිළ බසින් ද නිකුත් වුන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Nag Ashwin විසින්. C. Ashwini Dutt, Swapna Dutt, Priyanka Dutt යන අය විසින් නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති අතර සංගීත අධ්‍යක්ෂණය Mickey J. Meyer විසින් සිදු කර තිබෙනවා. සුරූපී නිළි Keerthy Suresh ප්‍රධාන චරිතයට එනම් සාවිත්‍රීගේ චරිතයට පණ පොවද්දී, Dulquer Salmaan(ජෙමිනි ගනේශන් ලෙස),Samantha Akkineni(මධුරවානි ලෙස), Vijay Devarakonda(ඇන්තනී ලෙස), Rajendra Prasad සහ Bhanupriya සෙසු චරිත වලට දායකත්වය දක්වා තිබෙනවා. Akkineni Naga Chaitanya ද දර්ශන කීපයක් සඳහා ආරාධිත රංගණ ශිල්පියෙක් ලෙස දායකත්වය දක්වද්දී තවත් ජේශ්ඨ නළු නිළි පිරිසක් ආරාධිත රංගණ දායකත්වය දක්වා තිබෙනවා. මේ වන විට IMDb දර්ශකයේ9.1 ක් වැනි ඉහළම අගයක් හිමි වී තිබෙනවා.
චිත්‍රපටය පටන්ගන්නේ සාවිත්‍රී අසනීප වෙලා රෝහලකට අරගෙන යන දර්ශනයකින්. රෝහලට අරගෙන ගියාට පස්සේ සාවිත්‍රී කෝමා තත්වයට පත් වෙනවා. අවුරුද්දකට විතර පස්සේ මේ මහා නිළියගේ තත්වය ගැන වාර්තා කරන්න එකතරා පුවත්පත් වාර්තාකාරිණියකට අවස්තාව ලැබෙනවා. ඒ වාර්තාකාරිණිය තමයි මධුරවානි(සමන්තා). හැමදාම සාමාන්‍ය ලිපි පළ කර කර හිටිය මධුරවානි බලාගෙන හිටියේ ප්‍රධාන ප්‍රවෘත්තියක් වාර්තා කරන්න ලැබේවා කියන බලාපොරොත්තුවෙන්. ඒත් එයාට ලැබුණේ අවුරුද්දක් තිස්සේ නිතරම පුවත්පත්වල පළ වුන සාවිත්‍රිගේ කෝමා තත්වය ගැන වාර්තා කරන්න. අකැමැත්තෙන් වුනත් බාරගෙන ඉන්න වෙලාවක මෙයාට මුණගැහෙනවා ඇන්තනීව(විජේ). ඒ වෙන කවුරුත් නෙවෙයි මධුරවානිට බැල්ම දාගෙන ඉන්න, එකම පත්තර කන්තෝරුවේ වැඩ කරන ඡායාරූප ශිල්පියෙක්. සාවිත්‍රිගේ ඡායාරූප ලබාගන්න බාරදීලා තියෙන්නේ ඇන්තනීට. ඉතින් මේ දෙන්නා එකතුවෙලා සාවිත්‍රී ගැන වෙන අය වාර්තා නොකළ ආකාරයේ පුවතක් වාර්තා කරන්න ඕන කියලා සාවිත්‍රිගේ ජීවිත කතාව හොයන්න පටන්ගන්නවා. දැන් කෝ යකෝ සාවිත්‍රිගේ කතාව. 😛 මේ දෙන්නා සාවිත්‍රී ගැන හොයාගන්න දේවල් විදිහට තමයි සාවිත්‍රිගේ කතාව දිගහැරෙන්නේ. ඔය මම ගෙනාවේ සාවිත්‍රිගේ කතාව අස්සේ යන අතුරු කතාව විතරයි හොඳේ. සාවිත්‍රිගේ කතාවෙදි තමයි Dulquer Salmaan ව දකින්න ලැබෙන්නේ. එයාගේ චරිතය මොනවගේ එකක්ද කියලා බලලම හොයාගන්න. සාවිත්‍රිගේ කතාව කියන්න යන්නෙත් නෑ. චිත්‍රපටයට සංගීතයත් ඉතාම මියුරු ආකාරයෙන් යොදාගෙන තියෙනවා. යොදාගත් පසුබිම් රූපරාමු වලින් නම් මලයාලම් චිත්‍රපටි වල තියෙන අමුතු ගතිය දකින්න ලැබෙනවා කියලත් හිතෙනවා. ඒ සියල්ල චිත්‍රපටය බලලම රසවිඳින්න කියලා ආරාධනා කරනවා.
තරිඳු රසාංග මලයා තමයි මේ චිත්‍රපටය බාරගෙන තිබ්බේ. ඒත් එයාට මේ දවස් වල විභාග කටයුතු වගයක් තියෙන නිසා කරන්න බෑ කියලා කියපු නිසා තමයි දෙවනුවට මේ චිත්‍රපටය ඉල්ලලා තිබ්බ මට මේ උපසිරැසිය කරන්න අවස්තාව ලැබුණේ. Swathanthryam Ardharathriyil චිත්‍රපටයට උපසිරැසිය දුන්නා වගේ ඉක්මනට මේකත් දෙන්නම් කියලා ගත්තම තමයි දෙලොව රත්වුනේ. 😛 ලයින් 2700+. කොහොම හරි කරලා වැඩත් අස්සේ පුලුවන් තරම් ඉක්මනින් උපසිරැසිය අරන් ආවා. කැමතියි නම් පුංචි වෙලාවක් කැප කරලා අදහසක් පළකරගෙන යන්න කියලත් ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි