Wednesday, December 5, 2018

Savyasachi (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි


අද උපසිරැසි අරගෙන ආවේ Action කාණ්ඩයට වැටෙන තෙලුගු සලරුවකට. කවුරුත් දන්නා හඳුනන Naga Chaitanya තමයි ප්‍රධාන චරිතයට දායක වෙලා තියෙන්නේ. ප්‍රධාන නිළියගේ චරිතයට දායකත්වය දක්වන්නේ Munna Michael හින්දි චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ Nidhhi Agerwal. ඒ වගේම සුපිරි දමිළ නළු නිළියන් යුවලක් වන R. Madhavan සහ Bhumika Chawla ද රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා.  Madhavan තෙලුගු සලරුවක ප්‍රධාන චරිතයකට පණ පොවන පළමු අවස්තාව වන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Chandoo Mondeti විසින්. 2018 නොවැම්බර් 2 නිකුත් කෙරුණු මේ සලරුවට IMDb දර්ශකයේ මේ වන විට 6.6 ක අගයක් තමයි ලැබිලා තිබෙන්නේ. 

වික්‍රම් ආදිත්‍යා කියන්නේ සාමාන්‍ය පෙනුමක් තිබ්බට අසාමාන්‍යය පිහිටීමක් තියෙන කෙනෙක්. ඒක සිද්ධ වෙලා තියෙන්නේ එයා අම්මගේ කුසේ වැඩෙද්දී සිදු වුන සිදුවීමකින්. ඒකට කියන්නේ "වැනිෂින් ට්වින් සින්ඩ්‍රෝම්" කියලා. ඒ කියන්නේ නිවුන් දරු උපතක් සිදු වීමට කළල දෙකක් බිහි වුනත් පෝෂණ පධාර්ථ නොමැති වීම නිසාවෙන් එක කළලයක් විසින් අනෙක අවශෝෂණය කරගන්නවා. මේ වගේ අවස්ථා වලදී බොහෝ විට ළමයින් අත් දෙකක් ඇතිව, කකුල් හතරක් ඇතිව, හිස් දෙකක් ඇතිව ආදි වශයෙන් උපදිනවා. නමුත් වික්‍රම් ආදිත්‍යාගේ තත්වය ටිකක් වෙනස්. තනි පුද්ගලයෙක් විදිහට ඉපදුනත් අර අනෙක් නිවුන් දරුවාට සම්බන්ධ නියුරෝන ඔහුගේ මොළයේ ඉතිරිව තිබෙනවා. එ්කට සම්බන්ධ වෙලා තියෙන්නේ ඔහුගේ වම් අත විතරයි. ඒ නිසා ඔහුට ප්‍රතිචාර දක්වන්න පුලුවන් වෙන්නෙත් වම් අත හරහා පමණයි. වෛද්‍යවරයා කියන විදිහට මෙයාට ලොකු දුකක් හෝ සතුටක් දැනුනොත් එයාගේ වම් අත ක්‍රියාත්මක වෙනවා. කෙටියෙන්ම කිව්වොත් එක ශරීරයක් පාවිච්චි කරන දෙන්නෙක් තමයි ඉපදිලා තියෙන්නේ. වෛද්‍ය මතය අනුව මේ නිසා ඔහු එක්කෝ අසමර්ථ කෙනෙක් වෙන්න පුලුවන්, නැත්නම් දෑතම ශක්තිමත්ව පාවිච්චි කරන්න පුලුවන් ශක්තිවන්තයෙක් වෙන්න පුලුවන්. ඔන්න එහෙනම් ප්‍රධාන චරිතයේ ස්වභාවය ගැන කිව්වා. කතාව ගැන කියන්න යන්නේ නෑ. කතාවේ සෙසු චරිත මේකට සම්බන්ධ වෙන විදිහ ගැනත් පාදක වෙන කතාව ගැනත් බලලම රස විඳින්න කියලා ආරාධනා කරනවා.

ප.ලි : චානක ඉඳුනිල් සහෝදරයත් එක්ක එකතු වෙලා තමයි මෙතරම් ඉක්මනින් උපසිරැසිය අරන් ආවේ. ඇත්තටම කිව්වොත් මට වැඩ වැඩි වුන නිසා චානක සහෝදරයා තමයි වැඩි කොටසකට දායකත්වය දැක්වුවේ. කියපු ගමන් වැඩේ පටන්ගෙන ඉක්මනට ඉවර කරපු ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් අදට සමුගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!




Tuesday, November 27, 2018

Mirzapur 2018 [S01 : E 02] Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න චිත්‍රපට වලට විතරක් සබ් කරපු මමත් ටෙලි කතා මාලාවකට සබ් කරන්න එකතු වුනා. සිසිල කරමුද කියලා ඇහුවම ඉතින් බෑ කියන්න බැරි වුනා. 😃  Amazon Prime Video විසින් නිකුත් කරපු කොටස් නවයකින් යුත් Mirzapur කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙනයි  අද ඇවිල්ලා ඉන්නේ. IMDb දර්ශකයේ 8.7 ක අගයක් මේ කතාවට ලැබී තිබෙනවා. කතාව සහ වටපිටාව ගැන පසුගිය කොටසින් තරිඳු අයියා හොඳ විස්තරයක් ගෙනල්ලා තිබ්බා. ඒ නිසා ඉතින් ඒ ගැන කියන්න යන්නේ නෑ. එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන මතක් කරගෙන ඉමු.


පසුගිය කොටසින් : මිර්සාපූර් වල රජු නමින් හඳුන්වන්නේ කාලීන් භායි නැමති අවි ආයුධ ජාවාරම්කාරයෙක් වගේම නම් දරා සිටින මැරයෙක්. ඔහුගේ පුතා, එහෙමත් නැත්නම් මුන්නා භායි තමන්ගේ සගයොත් එක්ක වෙරි මතින් එනකොට මඟුල් පෙරහැරක් යනවා දැකලා ඒක මැද්දට පැනලා අහසට වෙඩි තිය තිය නටන්න ගත්තා. ඒ පත්තු වුන වෙඩිල්ලක් වැදිලා අශ්වයා පිටේ අාපු මනමාළයා මියගියා. මනමාළයාගේ පවුලේ උදවිය මුන්නා භායිට විරුද්ධව නඩුව පවරන්න නීතීඥයින් කිහිප දෙනෙක් ගාවට ගියත්, අන්තිමට බාරගන්න කැමති වුනේ නීතීඥ රාමකාන්ත් පන්ඩිත් විතරයි. ඒ වෙන කවුරුත් නෙවෙයි කතාවේ තවත් ප්‍රධාන චරිත දෙකක් වන ගුඩ්ඩු සහ බබ්ලුගේ තාත්තා. මෙයා මේක බාරගත්තා කියලා දැනගත්තට පස්සේ මුන්නා භායි රාමකාන්ත් පණ්ඩිත්ව හොයාගෙන ගෙදරට එනවා. ගුඩ්ඩු සහ බබ්ලුත් ගෙදර ඉන්න වෙලාවේ ඇවිල්ලා එයාලගේ නංගිට කියපු දෙයක් නිසා වැඩේ දුර දිග ගිහිල්ලා ලොකු ආරවුලක් ඇති වෙනවා. අන්තිමට ගුඩ්ඩු ඇතුලු කට්ටිය මුන්නා භායිට ගහලා පන්නනවා. එතනින් වැඩේ තවත් දුරදිග ගිහිල්ලා කාලීන් භායි ගුඩ්ඩු සහ බබ්ලු දෙන්නට එයාව මුණගැහෙන්න ගෙදරට එන්න කියනවා. එතනින් තමයි පළමු කොටස නිමාවට පත් වුනේ. 

අද කොටස ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ. හැබැයි අද කොටසෙදි ගුඩ්ඩු සහ බබ්ලු දෙන්නට තමන්ගේ ජීවිත උඩු යටිකුරු වන, ගත්තට පස්සේ ආපසු හැරිල්ලක් නැති විශේෂ තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුවෙන් පස්සේ මේ දෙන්නගේ ජීවිත වෙනස්ම පැත්තකට යොමු වෙනවා. ඉතින් ඒ තීන්දුව මොකක්ද? කාලීන් භායි ගෙදරටම එන්න කිව්වේ මොනාටද? ඒ දේවල් අද කොටස බලලම හොයාගන්න ඔබට බාරයි. 

ඉංග්‍රීසි උපසිරැසියෙත් ඒ තරම්ම ගුණාත්මක බවක් නොතිබුණ නිසා විදෙස් ආධාර පතන්නත් සිද්ධ වුනා. 😃 ඒ අවස්තාවේ උපකාර කරපු මයුර සුරාජ් සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන්න ඕන. අවසානයට තවත් දෙයක් කියන්න ඕන සවුන්ඩ්ස් එහෙම වැඩි කරලා මුලු ගෙදරටම ඇහෙන්න බලලා එක වරම ඇති වන ශබ්ධ නිසා සිදුවන අපහසුතාවය ගැන අප වග කියන්නේ නැත. 🙈 
තවත් උපසිරැසියකින් හමුවෙමු. 
ඔබට ජය!



Saturday, November 17, 2018

Geetha Govindam (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ අවුරුද්දේ නිකුත් වුන ආදරණීයම සිනමා සිත්තමක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ.ආදායම් අතින් සුපිරි තරු රඟපෑ චිත්‍රපට අභිබවා යමින් වාර්තා පොත් අලුත් කරන්නට මේ චිත්‍රපටය සමත්කම් දැක්වුවා. තමිල්නාඩුවෙන් තෙලුගු චිත්‍රපටයක් පළමු දවසේ ලද ආදායම් අතරින් දෙවෙනි වන්නේ බාහුබලි චිත්‍රපටය ලබාගත් ආදායමට විතරයි. කෝටි 15ට අඩු වියදමක් දරා නිපදවූ මෙම චිත්‍රපටය දින 35ක් ගතවද්දී කෝටි 130ට අධික ආදායමක් ලබාගෙන දකුණු ඉන්දීය සිනමාව හොල්ලන්නට සමත්කම් දැක්වූවා වගේම වාර්තා රැසක් තබන්නටත් සමත්කම් දැක්වූවා.  

එයින් කිහිපයක් නම්,

එදා මෙදාතුර වැඩිම දළ ආදායම් ලද තෙලුගු චිත්‍රපට 10 අතරට පැමිණීම.

දකුණු ඉන්දියාවේ කෝටි 100ට වඩා වැඩි ආදායමක් ලබාගත් එකම රොමෑන්ටික් කොමඩිය වීම. එම සමත්කම දැක්වූ එකම ඇක්ශන් කාන්ඩයේ නොවන චිත්‍රපටයත් මෙයයි.

දකුණු ඉන්දියාවේ සුපිරි නලුවන් වන සූර්යා , අජිත් කුමාර් සහ අල්ලු අර්ජුන්ගේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට වන පිලිවෙලින් Singam2 , Vivegam , Sarrainodu ලැබූ ආදායම අභිබවා යෑම.

තමිල්නාඩුවේ සහ කේරල ප්‍රාන්ත වල තෙලිඟු චිත්‍රපටයක් ( හඬනොකවා ) ලැබූ වැඩිම ආදායම වාර්තා කිරීම.

වැඩිම කාන්තා ප්‍රේක්ශක ප්‍රතිශතයක් චිත්‍රපටය නැරඹීමට පැමිණීම. ( ඔව් ඔව් විජේ නිසා තමයි :P )

විජේ දේවරකොන්ඩාගෙ පිට පිටම 'බ්ලොක්බස්ටර් '  වුන තුන්වන චිත්‍රපටය වීම.

සුපිරි බොලිවුඩ් තරු දෙකක් වන John Abraham සහ Akshay Kumarගේ, පිළිවෙලින් Satyameva Jayate සහ Gold චිත්‍රපට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කළ දිනයේදීම, එනම් අගෝස්තු 15 වෙනිදා ප්‍රදර්ශන කටයුතු ආරම්භ කළ නමුත් ඒ චිත්‍රපට දෙකටම වඩා සාර්ථක වෙමින් ආදායම් ඉපයූවේ කවුරුත් මවිතයට පත්කරමිනුයි. 

Romantic, Comedy කියන කාණ්ඩයට. පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කරලා  තියෙන්නේ Parasuram විසින්. සංගීතය Gopi Sundar ගෙන්. රංගණයෙන් දායකත්වය දක්වා තිබෙන්නේ කවදත් කියනවා වගේ පෙරළිකාර විජේ දේවරකොන්ඩා සමඟින් සුරූපී නිළි රෂ්මිකා මන්දනා. ඒ වගේම දර්ශන කීපයක් සඳහා Nithya Menon සහ Anu Emmanuel සහය රංගණයයෙන් දායකත්වය දක්වා තිබෙනවා. Pelli Choopulu, Arjun Reddy, Mahanati, NOTA වගේ චිත්‍රපට පලපු අය විජේගේ රංගණය ගැන හොඳටම දන්නවා ඇති. ඒ වගේම Kirik Party, Chamak, Chalo, වගේ චිත්‍රපට බලපු අය රෂ්මිකාගේ රංගණය ගැන දන්නවා ඇති. නැගීගෙනම එන සුපිරි තරු දෙකක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම 3700+ මනාප සංඛ්‍යාවකින් IMDb දර්ශකයේ 8.2 ක අගයක් මේ වන විට ලබා තිබෙනවා. ලස්සනම සින්දු ටිකක් තියෙන නිසා ඉංග්‍රීසි පරිවර්තන හොයාගන්න පුලුවන් වුන සියලුම ගීත සිංහලට පරිවර්ථනය කළා. ඒ ටිකත් රස විඳිය යුතුම ගීත පෙළක් කිව්වොත් නිවැරදියි.

කතාව ගැන නම් වැඩ්ය කියන්න යන්නේ නෑ. මොකද මේ වගේ එකක් කතාව වැඩිය නොදැන බලනකොටයි චිත්‍රපටයේ රස දැනෙන්නේ. විජේ කියන්නේ ගුරුවරයෙක්. හිතේ ඇඳිලා ඉන්න ගෑනු ළමයා ගැන හීන දකිමින් ඉන්න මෙයා දවසක් කෝවිලකදී හිතේ ඇඳිලා තියෙන විදිහේ ගෑණු ළමයෙක්ව දකිනවා. ඉතින් ඊට පස්සේ දවසක එයාගේ නංගිගේ විවාහය වෙනුවෙන් ගමට යන්න යනකොට මේ තරුණියත් ඒ බස් එකටම ගොඩවෙලා එයාගේ ලඟින්ම වාඩි වෙනවා. එතනදී සිදුවන සිදුවීමක් නිසා වැඩේ දුර දිග යනවා. ඒ සිදුවීමත් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඒ සිදුවීම මොකක්ද? මේ සොඳුරු ආදර කතාව ගොඩනැගෙන්නේ කොහොමද? ඒ සියල්ලට උත්තර සොයාගැනීම ඔබට බාරයි.

ප.ලි: මේ චිත්‍රපටයට තවම කිසිදු භාෂාවක උපසිරැසියක් නිකුත් වී නැහැ. අසා ලිවීමක් කරලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඉංග්‍රීසි උපසිරැසිය ආවම අඩුපාඩු නැතුවම දෙනවා කියලා හිටියට ෆිලුම එනකල් බලාගෙන හිටිය ප්‍රේක්ශකයින්ගේ දැඩි තර්ජන හමුවේ දෙන්න තීරණය කළා. :P  ඒ නිසා පොඩ් පොඩි අඩුපාඩු විඳ දරා ගනිමින් රසවිඳින්න කියලා ආරාධනා කරනවා. වෙනත් තැන් වලින් චිත්‍රපටය ගන්න අයට කියන්න තියෙන්නේ ඩිරෙක්ටර් කට් (DC) කොපිය ගන්න එපා කියන එකයි. මොකද ඒ චිත්‍රපටය නෙවෙයි. චිත්‍රපටය සංස්කරණයට පෙර, රූගත කළ දර්ශන එකතු කර සෑදූ වීඩියෝවක්. HDTV කොපිය කලින්ම නිකුත් වුන නිසා ඒ කොපිය ගත්ත අය වෙනුවෙන් ඒකට හරියන උපසිරැසි ගොණුවත් ඇතුලත් කරලා තියෙන්නේ. අනිත් අය HD කොපිය අරගන්න. මේ උපසිරැසියේ අඩුපාඩු අවම මට්ටමට ගෙන එන්න උදව් කරපු තරිඳු රුක්ෂාන් අයියාටත් බොහාම ස්තූතියි කියන්න ඕන. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා ඇතුලු වාර්තා ටික හොයලා දුන්න සඳුන් රණතුංග සහෝදරයාටත් බොහොම ස්තූතියි. 

තවත් උපසිරැසියකින් හමු වෙමු.

ඔබට ජය!



Wednesday, November 7, 2018

Nota (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි




තවත් තෙලුගු සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි අද බයිස්කෝප්වාසීන්ව මුණගැහෙන්න ඇවිල්ලා ඉන්නේ. Political Thriller කියන කාණ්ඩයට අයත් මේ සලරුව 2018 ඔක්තෝබර් 05 තිරගත කිරීම ආරම්භ කරමින් තෙලුගු සහ දමිළ භාෂා දෙකෙන්ම නිකුත් වුනා. මෙහි විශේෂත්වය වන්නේ මෙය පෙරළිකාර විජේ දේවරකොන්ඩාගේ පළමු දමිළ සිනමා පටය වීමයි. ඒ වගේම මේ චිත්‍රපටය  Shan Karuppusamy විසින් රචිත Vettattam කියන නවකතාව පාදක කරගෙනයි නිෂ්පාදනය කරලා තිබෙන්නේ. ඔහුත් මේ චිත්‍රපටයේ තිර රචනය සඳහා දායකත්වය දක්වලා තිබෙනවා. අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Anand Shankar විසින්. රංගණයෙන් Vijay Devarakonda, Mehreen Pirzada, Yashika Aannand, Karunakaran, Nassar යන අය මුල් පෙළ චරිත වලට දායකත්වය දක්වා තිබෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ මේ වන විට 7.0 ක අගයක් ලබාගන්නට මේ සලරුව සමත්කම් දක්වා තිබෙනවා.

දැන් කතාව ගැන ටිකක් දැනගමු. වරුන් කියන්නේ බොහොම කෙළිලොල් ජීවිතයක් ගත කරන තරුණයෙක්. ඔහුගේ පියා ඉන්දියාවේ ප්‍රාන්තයක මහ ඇමති කෙනෙක්. පියාට වැඩි කැමැත්තක් නැති විජේ, එංගලන්තයේ පදිංචි වෙලා වීඩියෝ ගේම් නිර්මාණ ශිල්පියෙක් විදිහට රැකියාව කරගෙන ඉන්න කෙනෙක්. ඒත් ඔහු පවත්වාගෙන යන අනාථ නිවාසයේ කටයුතු වෙනුවෙන් ඉන්දියාවට විටින් විට පැමිණෙනවා. ඒ ආපු අවස්තාවක නොසිතූ ලෙසින් ඔහුගේ පියාගේ මහ ඇමති පදවිය තාවකාලිකව සති දෙකක් සඳහා වරුන්ට පවරනවා. ඒ සති දෙක අවසන් වෙන්න කලින් සිදුවන සිදුවීමක් නිසාවෙන් තවදුරටත් මහ ඇමති පදවියේ ඉන්න වරුන්ට සිද්ද වෙනවා. ඉතින් එතන ඉඳන් බල ලෝභී දේශපාලනයේ සුපුරුදු අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න ඔහුට සිද්ධ වෙනවා. පූජකයන් පස්සේ යමින් ඔවුන්ගේ කීමට කටයුතු කිරීම නිසාවෙන් සිදුවන හානිය ගැනත් මේ චිත්‍රපටයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එසේනම් වරුන් ඒ අභියෝග ජයගන්නේ කොහොමද කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා.

ප.ලි : ලයින් විශාල ප්‍රමාණයක් තිබ්බ නිසා තාරක සහෝදරයත් එක්ක එකතුවෙලා තමයි හැකි ඉක්මනින් මේ උපසිරැසිය බයිස්කෝප්වාසින් වෙත අරගෙන ආවේ. කියපු ගමන් බැහැ නොකියා වැඩේට බැස්ස තාරක සහෝදරයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

චිත්‍රපටය මෙතනින් බාගන්න

Saturday, October 13, 2018

Chalo (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න අද උපසිරැසි අරන් අවේ මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම බ්ලොක්බස්ටර් ලේබල් එක අලව ගන්න හැකියාව ලැබුණු තෙලුගු චිත්‍රපටයට. ආය කියන්න නම් දෙයක් නෑ. අනිවාර්යයෙන් අරන් බලන්න කියලා තමයි කියන්නේ. ලස්සන කතාවක් බලාගන්න පුලුවන් වේවි.

ලස්සන සින්දු ටිකකුත් තිබ්බත් ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ සින්දු වලට සබ් කරලා තිබ්බේ නෑ. ඉතින් අන්තර්ජාලයෙන් සින්දු වල ඉංග්‍රීසි පරිවර්තනයක් තිබ්බේ "Choosi Chudangane" කියන හොඳම සින්දුවට විතරයි. ඉතින් ඒකටත් කාළ රාමු හදලා උපසිරැසිය ඇතුලත් කරලා තියෙන්නේ. කතාවේ  ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ Naga Shaurya(හරී ලෙසින්) සමගින් Rashmika Mandanna(කාර්තිකා ලෙසින්). 

කතාව ගැන බැලුවොත්, අපේ කතා නායකයා වන හරී, අත දරුවා කාලෙදි අඬනකොට නලවන්න එයාගේ අම්මා තාත්තට තමයි බාර දෙන්නේ. තාත්තා පුතාව නලවගන්න කරන්නේ "පුතේ මේ මාමාට එකක් ගහන්න" කියලා හරීගේ අතින් අල්ලන් අහල පහල ඉන්න අයට ගහන එක. එතකොට හරී හිනා වෙලා අඬන එක නවත්වනවා. ඉතින් ඔය පුරුද්ද දිගටම යනවා. තරුණ වයසට ආවට පස්සෙත් කොහේ හරි රණ්ඩුවක් දැක්කොත් කාගෙද, මොනාටද කියන එක අදාල නෑ අහුවෙන හැම එකාටම ගහනවා. ඒ නිසා හරීව ඉගෙනුම ලබමින් හිටිය කොලේජ් එකෙන් තිරුපුරම් වල කොලේජ් එකකට මාරු කරගන්නවා. තිරුපුරම් කියන්නේ ආන්ද්‍රා-තමිල්නාඩු මායිමේ තියෙන ගමක්. මේ ගම මැදින් තමයි ඒ පළාත් දෙක වෙන් වන සීමාව තියෙන්නේ. සීමාවෙන් එක පැත්තක තෙලුගු අය,අනිත් පැත්තේ දෙමළ අය. මේ දෙගොල්ලෝ එකාට එකා නයි වෛරෙන් ඉන්නේ. ඉතින් ඔය වගේ ගමකට තමයි මෙයාව යවන්නේ. 

ඉතින් මේ ගමේදි තමයි හරී ට කාර්තිකාව මුණගැහෙන්නේ. ඉතින් මේ ගමට ගිහිල්ලා මොන වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න හරීට සිද්ද වෙයිද? කාර්තිකාව මුණගැහෙන්නේ කොහොමද? මොන වගේ ආදර කතාවක් ගලාගෙන යයිද? ඒවා ඉතින් බලලම අත් විඳින්න කියලා ආරාධනා කරනවා.



තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය

Monday, October 1, 2018

Abrahaminte Santhathikal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Image result for abrahaminte santhathikal

තවත් අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Crime, Thriller කියන කාණ්ඩ වලට. ප්‍රධාන රංගණයෙන් දායක වෙන්නේ මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන  Mammootty(ඩෙරික් ලෙස) සමගින් Anson Paul(පිලිප් ලෙස). 2018 ජූනි 16 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaji Padoor විසින්. ඒ වගේම තිර පිටපත රචනා කරලා තියෙන්නේ ආදායම් වාර්තා බිඳ හෙලූ චිත්‍රපටයක් වන  The Great Father (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනා කළ Haneef Adeni විසින්. සංගීතය Gopi Sundar සහ Serin Francis ගෙන්. මේ වන විට IMDb දර්ශකයේ තුන් දහසකට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් 8.3 ක් වැනි ඉහළ අගයක් මේ චිත්‍රපටයට ලැබී තිබෙනවා. ඒ වගේම 2018 වසරේ මේ වන විට මලයාලම් චිත්‍රපට වලින් වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇති චිත්‍රපටය වන්නේද මේ චිත්‍රපටයයි. ඒ දැනට තිබෙන වාර්තා අනුව ඉන්දියානු රුපියල් කෝටි 35.8 ක ආදායමක් ලබමින්.

කතාව ගැන කිව්වොත් ඩෙරික් සහ පිලිප් කියන්නේ සහෝදරයෝ. ඩෙරික් තමයි අයියා. මේ දෙන්නගේ දෙමව්පියෝ හදිසි අනතුරකින් මරණයට පත් වෙනවා. ඉන් පස්සේ ඩෙරික් තමයි පිලිප්වත් බලාගෙන ජීවිතය ගොඩනගා ගන්නේ. තරුණ වයසට ආවට පස්සේ ඩෙරික් පොලිසියට එකතු වෙනවා. කවුරුත් ඩෙරික්ව හඳුනන්නේ අවංකවම රාජකාරිය කරන, ඕනම අභියෝගයක් ජය ගන්න පුලුවන්, තිතටම වෙඩි තැබීමේ සූක්ෂම හැකියාවක් තියෙන පොලිස් නිළධාරියෙක් විදිහටයි. මල්ලිත් තමන්ගේ අයියගේ අඩි පාරෙම යමින් වෙඩි තැබීම පුහුණු කරනවා. නමුත් එයාගේ ආශාව තියෙන්නේ රට ගිහින් තවත් වෙඩි තැබීම පුහුණු වෙන්න. ඔය ටික නම් දැනගන්න වෙන්නේ කතාව මැදකදි. කතාව පටන්ගන්නේ බිහිසුණු මිනී මැරීම්  මාලාවකින්. වෙස් වලාගත් පුද්ගලයෙක් විසින් සාහසික ලෙස පවුල් පිටින් මරා දමමින් ලේ වලින් සටහනක් වගේම ලිපියක් තබා යනවා. මැරූ ගණනත් මරන්න සිටින ගණනත් සටහනෙන් තබා යනවා. ලිපියෙන් සඳහන් කරන්නේ දෙවියන් ඔහුට අණ කරන බවත්, ඒ අනුව ඔහු මේ දේවල් කරන බවයි.  ඔය සිදුවීම් දාමයේ සුල මුල හොයාගෙන යන අතරතුරේ කතාව නොසිතූ ලෙස වෙනස්ම පැත්තකට යොමු වෙනවා. එතනදී තමයි පිලිප් මේ කතාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහන් කළ නොසිතූ පැත්ත මොකක්ද? පිලිප් මේකට මොන විදිහට සම්බන්ධ වෙයිද? ඒවා ඉතින් බලලම තමයි හොයා ගන්න වෙන්නේ. කතාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා කතාව උඩු යටිකුරු වෙනවා. අනිවාර්යයෙන්ම මැදකදි මොකක්ද වුනේ, කතාව මොකක්ද කියලා කල්පනා කර කර ඉන්න මට්ටමට පත් වෙන බව නම් නොඅනුමානයි.

අවසානයේදි කියන්න ඕන, මේ සලරුවේ උපසිරැසිය කරන්න බාරගෙන තිබ්බේ සිසිල ප්‍රසාද් සහෝදරයා. විභාගයක් තියෙන නිසා මට කරන්න කියලා බාර දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට විශේෂ ස්තූතිය හිමි විය යුතුයි. ඒ වගේම කරපු උපකාර වලට මයුර සුරාජ් සහෝදරයාටත් ගොඩක් ස්තූතියි. 



 තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!

Tuesday, September 11, 2018

Naa Peru Surya, Naa Illu India (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි



හැමෝම බලාගෙන හිටිය අල්ලු අර්ජුන්ගේ අලුත්ම චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ.  ප්‍රධාන චරිත වලට සුපිරි නළු Allu Arjun සූර්යා ලෙසිනුත් Anu Emmanuel සූර්යාගේ පෙම්වතිය වර්ෂා ලෙසිනුත් රංගනයෙන් දායකත්වය සපයනවා. හමුදා නිළධාරියෙක් වන සූර්යා, දේශ සීමාවට තමන්ගේ රටට සේවය කිරීමේ බොහොම ආශාවෙනුයි ඉන්නේ. හැබැයි මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තරහා පාලනය කරගන්න බැරි කම. ඒක නිසා නිතරම මෙයා තම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උදහසට ලක්වෙනවා. ඔහු තමන්ගේ අරමුණ ඉටුකර ගැනීම කරා යන ආකාරයත් වර්ෂාගේත් සූර්යාගෙත් ආදර කතාවට ඒක බලපාන ආකාරයත් දැක ගන්න පුලුවන්.

මේ චිත්‍රපටයට උපසිරැසිය අරන් ආවේ  M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා අයියත් එක්ක එකතු වෙලා මේ වෙන තෙක් අන්තර්ජාලයට ඉංග්‍රීසී භාෂාවෙන් හෝ වෙනත් කිසිඳු භාෂාවක උපසිරැසියක් මේ චිත්‍රපටය සඳහා නිකුත් වෙලා තිබුන නැති නිසා  කාල රාමුත් හදාගෙන සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් විදියට පරිවර්තනය කරලා. ඉතින් ඒකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. තරිඳු අයියට විශේෂයෙන් ස්තූති කරන්න ඕන වැඩ රාජකාරි අස්සේ ගොඩක් මහන්සි වෙලා, මං කරපු කොටසෙත් අඩුපාඩු බලලා ඉතාමත් හොඳ ගුණාත්මකභාවයෙන් මේ උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් රසිකයින් වෙත අරන් එන්න මහන්සි වුනාට. එහෙනම් හැමෝටම චිත්‍රපටය බලලම අදහසක් පල කරන්න කියලත් මතක් කරමින් අදට සමුගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු. 
ඔබට ජය!


Friday, August 31, 2018

Pelli Choopulu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න තවත් තෙලුගු චිත්‍රපටයකට උපිසිරැසියක් අරගෙන ආවා. මේ කාලයේ නැගීගෙන එන තෙලුගු නළුවා කවුද කියලා ඇහුවොත් දෙකක් නෑ කවුරුත් කියන්නේ විජේ දේවරකොන්ඩා කියලා. අද ආවේ ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය අරගෙනයි. 2016 ජූලි 29 නිකුත් වුන මෙම චිත්‍රපටය Romantic, Comedy කියන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නේ. පිටපත හා අධ්‍යක්ෂණය Tharun Bhascker Dhaassyam විසින් සහ නිෂ්පාදනය Raj Kandukuri සමගින් Yash Rangineni විසින් සිදු කර තිබෙනවා. ප්‍රධාන චරිත වලට රංගණයෙන්  දායකත්වය දක්වන්නේ Vijay Deverakonda(ප්‍රශාන්ත් ලෙස) සමගින් Ritu Varma(චිත්‍රා ලෙස). මේ චිත්‍රපටය National Film Awards සම්මාණ උළෙලේ හොඳම තෙලුගු චිත්‍රපටය සහ හොඳම තිර රචනය යන සම්මාණ දිනා ගත්තා. Filmfare සම්මාණ උළෙලේ දී හොඳම තෙලුගු චිත්‍රපටය සහ හොඳම තෙලුගු නිළිය යන සම්මාණ හිමි වුනා. Nandi Awards සම්මාණ උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහා රන් සම්මාණයත් හොඳම නිළිය සම්මාණයත් හිමි වුනා. ඒ වගේම  SIIMA Awards සම්මාණ උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාණයට පාත්‍ර වුනා. විචාරකයන්ගෙනුත් ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමි වුන චිත්‍රපටය ආදායම් අතිනුත් ඉතාමත් සාර්ථක වුනා. තුන් දහසකටත් වඩා මණාප සංඛ්‍යාවක් අතුරින් මේ වන විට IMDb දර්ශකයේ 8.4 ක් වැනි ඉහළ අගයක් ලබා තිබෙනවා. තෙලුගු චිත්‍රපටයකට ඒ ගාන කියන්නේ ඇත්තටම ඉතාම හොඳ අගයක්. ඉදිරියේදී Mitron යන නමින් මෙම චිත්‍රපටය හින්දි ප්‍රති නිර්මාණයක් ලෙසින් දැකගන්නටත් ලැබේවි. ඉතින් ඔය ටිකම ඇති වෙයි කියලා හිතෙනවා චිත්‍රපටය නරඹන්න. 

දැන් කතාව ගැන බලමු. ප්‍රශාන්ත් කියන්නේ හරිම කම්මැළි චරිතයක්. උපාධියත් අවුරුදු පහක් තිස්සේ කරලා යන්තමින් ගොඩදාගෙන ගෙදරට වෙලා ඉන්න කෙනෙක්. යාළුවොත් එක්ක සෙට්වෙලා අම්බානට බීලා දවල් වෙනකල් නිදාගෙන ඉඳලා තාත්තගේ කෑගැහිල්ලට නැගිටින, තාත්තවත් රවට්ටගෙන ඉන්න හදන චරිතයක්. උපාධියක් ගත්තට මොකද එයාගේ වචනෙන්ම කියනවනම් ඒක නමට ගත්ත එකක්. මෙයාගේ කැමැත්ත තියෙන්නේ චෙෆ් කෙනෙක් වෙන්න. සල්ලි හොයා ගන්න එකේක දේවල් උත්සහ කරනවා. කෑම හදන වීඩියෝස්, ෆනී වීඩියෝස් කරලා යූටියුබ් දාලා සල්ලි හොයන්න යනවා. ඒවා තරන්න ගිහිල්ලා හරි හරි අලකලංචි තමයි ඉතින් සිද්ද වෙන්නේ. :P  මුගේ කරදරෙන් නිදහස් වෙන්න ඕන කියලා තාත්තා මෙයාට කසාදයක් බලන්නයි සූදානම් වෙන්නේ. ප්‍රශාන්ත් ඒකට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් දවසක් ගෙදර වැඩකාරයා කියනවා බලන්න යන මනමාළිව බඳිනවනම් කෝටියක දෑවැද්දක් ලැබෙනවා, ඒක ස්ථාවර තැන්පතුවක දැම්මත් මාසෙකට ලක්ෂයක් හොයන්න පුලුවන් කියලා. නිකන්ම ඉඳන් හම්බකරන්න පුලුවන් නිසා මෙයා එකෙන්ම කැමති වෙනවා. කැමති වෙලා මනමාළිව බලන්න යනවා. බොහොම අමාරුවෙන් ගෙදරට ගියාට පොඩි වැරැද්දක් සිද්ද වෙනවා. ඒ සිද්දියත් එක්ක තමයි මේ කතාවට චිත්‍රා සම්බන්ධ වෙන්නේ. එතනින් එහාට ඉතින් කතාව හරි හරි අලකලංචි අස්සේ ගලාගෙන යනවා. චිත්‍රා කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? ප්‍රශාන්ත්ගේ ජීවිතේ මොන වගේ පැත්තකට යොමු වෙයිද? මේ ලස්සන ආදර කතාව කොහොම ගලාගෙන යාවිද? මේ දේවල් චිත්‍රපටය රස විඳින ගමන් දැනගන්න කියලා ආරාධනා කරනවා.

ප.ලි. : අවසාන වශයෙන් කියන්න ඕන මේකට ඉංග්‍රීසි උපසිරැසි ගොණුවක් තවම අන්තර්ජාලයේ නැහැ. වෙනත් භාෂාවක ගූගල් ට්‍රාන්ස්ලේට් කරපු එකක් තමයි තියෙන්නේ. අසා ලිවීමක් කරගෙන යනකොට (බාගයක් විතර කරාට පස්සේ) අන්තර්ජාලය අස්සේ හැංගිලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසි සහිත වීඩියෝවක් හම්බවුනා. ඉතින් ඒකත් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ උපසිරැසිය අරගෙන ආවේ. ඇත්තම කිව්වොත් ගොඩක්ම මහන්සි වුන උපසිරැසියක්. ඒහෙනම් ඔබේ වටිනා අදහසකුත් පළ කරගෙන යන්න කියලා මතක් කරමින් අදට සමුගන්නවා. 

තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

Saturday, July 28, 2018

Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මෙච්චර කල් තෙළිගු ෆිල්ම් බදාගෙන හිටියට, මලයාලම් රසිකයෝ තමයි මම කරපු පළමු මලයාලම් චිත්‍රපටයටම, එදා මෙදා තුර මට ලැබුණු වැඩිම කමෙන්ට්ස් වලින් සංග්‍රහ කරලා තිබුණේ. ඉතින් ඊට ප්‍රති උපකාර කිරීමක් වශයෙන් තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ඕන කියලා හිතලා චිත්‍රපටයක් හොයනකොට තමයි මේක ගැන දැනගන්න ලැබුණේ. විස්තර හොයලා බලනකොට 2017 වසරේ නිකුත් වුන හොඳම මලයාලම් චිත්‍රපට වලින් එකක්. 
2017 ‍දෙසැම්බර් 22 තිරගතකිරීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aashiq Abu විසින්. ඔහුත් සමග එක්ව Santhosh T. Kuruvilla නිෂ්පාදනයට දායකත්වය දක්වා තිබෙනවා. මෑතක නිකුත් වුන Parava චිත්‍රපටය ඇතුලුව චිත්‍රපට ගණනාවකට සංගීතය සපයා ඇති Rex Vijayanවිසින් සංගීතය සපයා තිබෙනවා. චිත්‍රපටය පුරාම අපූරු නාද රටාවන් අසන්නට පුලුවන් වේවි. ඒ වගේම මේ චිත්‍රපටයේ ගීත සියල්ලම වාගේ අතිශය ජනප්‍රිය වුනා. මෙහි එන ප්‍රධාන චරිත දෙක තමයි මැතිව් සහ අපර්ණා. මැතිව් ලෙස Tovino Thomas සහ අපර්ණා ලෙස Njandukalude Nattil Oridavelaසිනමා පටයෙන් සිනමා දිවිය ඇරඹු Aishwarya Lekshmi රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා.
මැතිව් කියන්නේ කාත් කවුරුත් නැති, ජීවත් වෙන්න පොඩි පොඩි ගේම් දිදී ඉන්න කෙනෙක්. අපර්ණා කියන්නේ නිළියක් වෙන්න හීන දකිමින්, උත්සව මෙහෙයවීම් කරලා සල්ලි හොයාගෙන තමන්ගේ අම්මාවත් මල්ලිවත් බලාගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම මැතිව් කියන්නේ ඉගෙන ගන්න කාලේ අපර්ණාගේ කොලේජ් එකේ හිටිය සීනියර් කෙනෙක්. ඉතින් මෙයා සීනියර්ගේ දැලට අහුවෙලා කාලයක් යද්දී එයාගේ යාලුවෙක්ව කොලේජ් එකට දාගන්න මැතිව්ට සල්ලි වගයක් දෙනවා. ඒ වුනාට මැතිව්ට වැඩේ කරගන්න බැරි වෙනවා. එතනින් ඇති වෙන හිත් අමණාප කමක් නිසාවෙන් අපර්ණා, මැතිව් එක්ක විරසක වෙනවා. එතනින් පස්සේ සිදුවන දේවල් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ. තමන්ගේ ආදරය යලි දිනා ගන්නට මැතිව් දරණ උත්සාහයත්, ජීවිතේ ගොඩ දාගන්න කරන වෑයමත්, පොඩි ගේමක් දෙන්න ගිහින් සිදුවූ අත්වැරැද්දක් නිසාවෙන් පසු පස හඹා එන පොලිසියෙන් බේරී, ජීවිතේ පිළිවෙලක් කරගන්න මැතිව්ස් දරන උත්සාහය මේකෙන් බලාගන්න පුලුවන්.
65 වන ෆිල්ම් ෆෙයාර් (දකුණු ඉන්දියානු) සම්මාණ උළෙලේදී හොඳම නළුවා (විචාරක) ලෙසින්Tovino Thomas සම්මාණයට පාත්‍ර වුනා. මෙම චිත්‍රපටය වෙනුවෙන් Rex Vijayan හට හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මාණය හිමි වෙද්දී “Mizhiyil” ගීතය වෙනුවෙන් හොඳම පද රචනයට හිමි සම්මාණය දිනා ගන්නට Anwar Ali හට හැකියාව ලැබුණා. ඒ ටිකම මදෑ ෆිලුම බලන්න. 😛මලයාලම් රසිකයෝ නම් අනිවාර්යයෙන් බලනවා කියලා දන්නවා. අනිත් අයටත් බලන්න කියලා ආරාධනා කරනවා.
මේ චිත්‍රපටයට ඉංග්‍රීසි හාඩ් සබ් තමයි ඇවිත් තිබ්බේ. ඒ නිසා වෙනත් භාෂාවකින් කරලා තිබ්බ සබ් එකක කාළ රාමු අරගෙන ඒකෙත් අඩුපාඩු හදාගෙන තමයි සබ් එක කරේ. සම්මාණ ලබන්නට තරම් සංගීතයක් මේකේ තිබ්බත් හාඩ් සබ් එකේ සින්දු ටිකට ඉංග්‍රීසි සබ් තිබ්බේ නෑ. සින්දු වල ඉංග්‍රීසි පරිවර්ථනයක් හොයාගෙන ඒවට කාළ රාමු අලුතෙන්ම හදලා තමයි සින්දු ටික පරිවර්ථනය කරේ. ඒ නිසා හිතුවට වඩා පොඩි කාලයක් ගත වුනා. තව දෙයක්, පොඩි පොඩි දර්ශන කීපයක් නිසා පවුලේ අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා එක්ක බලන එක එතරම්ම නුවණට හුරු දෙයක් නෙවෙයි. 😛උපසිරැසිය ගන්න ගමන් අදහසක් පළකරගෙන යන්න කියලත් මතක් කරනවා.
තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

Wednesday, July 4, 2018

Mahanati (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි


මේ අවුරුද්දේ මේ වන විට නිකුත්වුන තෙලුගු චිත්‍රපට අතරින් “බ්ලොක්බස්ටර් හිට්” ලේබල් එක අලවගන්න පුලුවන් වුන තවත් චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ආවේ. Biographical කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටයෙන් ගෙනහැර දැක්වෙන්නේ 1950,60 දශක වල දකුණු ඉන්දීය සිනමාවේ අනසක පැතිරවූ මහා නිළිය, සාවිත්‍රිගේ ජීවිත කතාවයි. Nadigaiyar Thilagam නමින් දමිළ බසින් ද නිකුත් වුන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Nag Ashwin විසින්. C. Ashwini Dutt, Swapna Dutt, Priyanka Dutt යන අය විසින් නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති අතර සංගීත අධ්‍යක්ෂණය Mickey J. Meyer විසින් සිදු කර තිබෙනවා. සුරූපී නිළි Keerthy Suresh ප්‍රධාන චරිතයට එනම් සාවිත්‍රීගේ චරිතයට පණ පොවද්දී, Dulquer Salmaan(ජෙමිනි ගනේශන් ලෙස),Samantha Akkineni(මධුරවානි ලෙස), Vijay Devarakonda(ඇන්තනී ලෙස), Rajendra Prasad සහ Bhanupriya සෙසු චරිත වලට දායකත්වය දක්වා තිබෙනවා. Akkineni Naga Chaitanya ද දර්ශන කීපයක් සඳහා ආරාධිත රංගණ ශිල්පියෙක් ලෙස දායකත්වය දක්වද්දී තවත් ජේශ්ඨ නළු නිළි පිරිසක් ආරාධිත රංගණ දායකත්වය දක්වා තිබෙනවා. මේ වන විට IMDb දර්ශකයේ9.1 ක් වැනි ඉහළම අගයක් හිමි වී තිබෙනවා.
චිත්‍රපටය පටන්ගන්නේ සාවිත්‍රී අසනීප වෙලා රෝහලකට අරගෙන යන දර්ශනයකින්. රෝහලට අරගෙන ගියාට පස්සේ සාවිත්‍රී කෝමා තත්වයට පත් වෙනවා. අවුරුද්දකට විතර පස්සේ මේ මහා නිළියගේ තත්වය ගැන වාර්තා කරන්න එකතරා පුවත්පත් වාර්තාකාරිණියකට අවස්තාව ලැබෙනවා. ඒ වාර්තාකාරිණිය තමයි මධුරවානි(සමන්තා). හැමදාම සාමාන්‍ය ලිපි පළ කර කර හිටිය මධුරවානි බලාගෙන හිටියේ ප්‍රධාන ප්‍රවෘත්තියක් වාර්තා කරන්න ලැබේවා කියන බලාපොරොත්තුවෙන්. ඒත් එයාට ලැබුණේ අවුරුද්දක් තිස්සේ නිතරම පුවත්පත්වල පළ වුන සාවිත්‍රිගේ කෝමා තත්වය ගැන වාර්තා කරන්න. අකැමැත්තෙන් වුනත් බාරගෙන ඉන්න වෙලාවක මෙයාට මුණගැහෙනවා ඇන්තනීව(විජේ). ඒ වෙන කවුරුත් නෙවෙයි මධුරවානිට බැල්ම දාගෙන ඉන්න, එකම පත්තර කන්තෝරුවේ වැඩ කරන ඡායාරූප ශිල්පියෙක්. සාවිත්‍රිගේ ඡායාරූප ලබාගන්න බාරදීලා තියෙන්නේ ඇන්තනීට. ඉතින් මේ දෙන්නා එකතුවෙලා සාවිත්‍රී ගැන වෙන අය වාර්තා නොකළ ආකාරයේ පුවතක් වාර්තා කරන්න ඕන කියලා සාවිත්‍රිගේ ජීවිත කතාව හොයන්න පටන්ගන්නවා. දැන් කෝ යකෝ සාවිත්‍රිගේ කතාව. 😛 මේ දෙන්නා සාවිත්‍රී ගැන හොයාගන්න දේවල් විදිහට තමයි සාවිත්‍රිගේ කතාව දිගහැරෙන්නේ. ඔය මම ගෙනාවේ සාවිත්‍රිගේ කතාව අස්සේ යන අතුරු කතාව විතරයි හොඳේ. සාවිත්‍රිගේ කතාවෙදි තමයි Dulquer Salmaan ව දකින්න ලැබෙන්නේ. එයාගේ චරිතය මොනවගේ එකක්ද කියලා බලලම හොයාගන්න. සාවිත්‍රිගේ කතාව කියන්න යන්නෙත් නෑ. චිත්‍රපටයට සංගීතයත් ඉතාම මියුරු ආකාරයෙන් යොදාගෙන තියෙනවා. යොදාගත් පසුබිම් රූපරාමු වලින් නම් මලයාලම් චිත්‍රපටි වල තියෙන අමුතු ගතිය දකින්න ලැබෙනවා කියලත් හිතෙනවා. ඒ සියල්ල චිත්‍රපටය බලලම රසවිඳින්න කියලා ආරාධනා කරනවා.
තරිඳු රසාංග මලයා තමයි මේ චිත්‍රපටය බාරගෙන තිබ්බේ. ඒත් එයාට මේ දවස් වල විභාග කටයුතු වගයක් තියෙන නිසා කරන්න බෑ කියලා කියපු නිසා තමයි දෙවනුවට මේ චිත්‍රපටය ඉල්ලලා තිබ්බ මට මේ උපසිරැසිය කරන්න අවස්තාව ලැබුණේ. Swathanthryam Ardharathriyil චිත්‍රපටයට උපසිරැසිය දුන්නා වගේ ඉක්මනට මේකත් දෙන්නම් කියලා ගත්තම තමයි දෙලොව රත්වුනේ. 😛 ලයින් 2700+. කොහොම හරි කරලා වැඩත් අස්සේ පුලුවන් තරම් ඉක්මනින් උපසිරැසිය අරන් ආවා. කැමතියි නම් පුංචි වෙලාවක් කැප කරලා අදහසක් පළකරගෙන යන්න කියලත් ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

Monday, June 25, 2018

Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්‍රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්‍රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. ප්‍රධාන චරිත සඳහා දායකත්වය දක්වා තිබෙන්නේ Antony Varghese (ජේකබ් ලෙස) ,Vinayakan (සයිමන් ලෙස) සමගින් Chemban Vinod Jose(දේවස්සි ලෙස) Aswathy Manoharan (බෙටී ලෙස).
ප්‍රිසන් බ්‍රේක් ටීවි සීරීස් එක බලලා තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන් මේ චිත්‍රපටයත් බලන්න. පටන්ගත්ත වෙලේ ඉඳන් ත්‍රාසය, භීතිය,කුතුහලය පිරුණු කතාවක්. කතාව ගැන නම් පොඩ්ඩක් වත් කියන්නේ නෑ. මොකද ඒ විස්තර ඔයාලට දැනගන්න ලැබෙන්නේ කතාව මැදදි. ඒ ටික මුලදිම දැනගෙන කතාව බැලුවොත් වැඩක් නෑ. එතකොට තමයි ඒකේ නියම රසය දැනෙන්නේ.
මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ආසාවෙන් හොය හොයා ඉන්න වෙලාවක සිසිල ප්‍රසාද්ගෙන් මැසේජ් එකක් ආවා ෆිල්ම් එකක් තියෙනවා, කරමුද කියලා. මොකක්ද කියලා බලනකොට මලයාලම් එකක්. ඉතින් ඒ වෙලාවේ ඒක බාරගෙන පුලුවන් තරම් ඉක්මනින් අරගෙන ආවා. ඒ වෙලාවෙම ප්‍රතිචාර දක්වලා මේක වෙන් කරලා දුන්නාට සිසීටත් ස්තූතියි කියන ගමන් ඩවුන්ලෝඩ් කරන ඔයාලටත් ඔයාලගේ යුතුකම ඉටු කරලා යන්න කියලත් මතක් කරනවා. ආහ් තව දෙයත්. කේරළේ අය ලංකාවත් අමතක කරලා නෑ. බලන්නකෝ මොකක්ද කියලා.
ප.ලි – පොඩි දෙයක් කියන්න තියෙනවා. මේකට අදාල ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ සමහර පොඩි පොඩි දෙබස් උපසිරැසිගන්වලා තිබ්බේ නෑ. නැතුව මම ඒවා මගෑරලා නෙවෙයි. (සමහරුන්ට ඕකත් ඇතිනේ කමෙන්ට් තීරුව මතක් වෙන්න. ඒකයි කිව්වේ) ඒ නිසා ඒ වගේ තැන් කීපයත් විඳ දරාගෙන, බලන්න කියලා ආරාධනා කරනවා. හැබැයි ඒ පොඩි දේවල් වලින් කතාවට ලොකු හානියක් වෙලා නෑ කියලත් මතක් කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු. .
ඔබට ජය!

Wednesday, June 6, 2018

Mahanubhavudu (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි


මගේ නම ආනන්ද්. මම සාමාන්‍ය මනුස්සයෙක් වගේ වුනාට,
අසාමාන්‍ය ලෙඩක් තියෙනවා.
OCD
එහෙමත් නැත්නම් සිතැඟි අත්හැරීමේ නොහැකියාව.
සරළව කිව්වොත් හිතට යමක් කරන්න හිතුනොත් ඒක නොකර ඉන්නකල් 
ඇහේ කටු අනිනවා වගේ.
මේකේ ප්‍රභේද ගොඩක් තියෙනවා. මට තියෙන්නේ අති පිරිසිදු බව සහ අති පිළිවෙල කියන ප්‍රභේදය.
තවත් පැහැදිළි වෙන්න මෙහෙම කියන්නම්,
අපේ ගෙදරට දූවිලි ගෑවුන වාහනයක් ආවොත් එක පිරිසිදු කරනකල් මට ඉවසිල්ලක් නෑ.
කවුරු හරි පිළිවෙලකට වැඩ කරන්නෙ නැත්නම්, මට එයාව පෙන්නන්න බෑ.
මොන වැඩේ කළත් පිරිසිදුකාරක වලින් අත් පිරිසිදු කරගන්නවා. 
කාටටත් අතට අත දෙන්නවත් මම කැමති නෑ.
හැබැයි මගේ හිතගිය කෙනා හමුවුනොත් නම් එහෙම නොකර ඉන්නෙත් නෑ.
2017 සැප්තැම්බර් 29 තිරගත කිරීම් ආරම්භ කරපු Romantic, Action Comedy කියන කාණ්ඩ වලට අයත් වන තෙලුගු චිත්‍රපටයක් අරගෙනයි අද ආවේ.තිර පිටපත හා අධ්‍යක්ශනය කර තිබෙන්නේMaruthi Dasari විසින්. සංගීත අධ්‍යක්ශනය S. Thaman ගෙන්. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ Sharwanand (ආනන්ද් ලෙස) සමගින් Mehreen Pirzada (මේඝනා ලෙස). කාගෙත් ප්‍රසාදය ලබමින් තිරගත වුනු චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 46 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබා තිබෙනවා.
දැන් කතාව ගැන බලමු. ඉතින් ඔය විදිහට අමුතු ගතිගුණ තියන ආනන්ද්ට පිරිසිදුවට, පිළිවෙලට වැඩ කරන මේඝනා ව මුණගැහෙනවා. එයාගේ පිළිවෙලට කැමති වෙන ආනන්ද් කොහොම හරි මේඝනාගේ හිත දිනා ගන්නවා. මේඝනාගේ හිත දිනාගත්තාට මේඝනාගේ තාත්තගේ හිතත් දිනාගන්න වෙනවා. ඔය අතරේ හදිසි හේතුවක් නිසාවෙන් ආනන්ද්ට මේඝනාගේ ගමට යන්න සිද්ද වෙනවා. ඒහෙදි ඉතින් ආනන්ද් ට හරි හරි සිදුවීම් වලට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඇත්තටම කිව්වොත් ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නේ ගමට ගියාට පස්සේ. ඉතින් ආනන්ද් මේඝනාගේ හිත දිනාගන්නේ කොහොමද?, තාත්තාගේ හිත දිනාගන්නේ කොහොමද?, ගමට ගිහින් මුහුණ දෙන ප්‍රශ්න මොනාද?, මේ දෙන්නගේ ආදර කතාවට සිදු වන්නේ කුමක්ද? ඒවා ඉතින් චිත්‍රපටිය බලලම හොයාගන්නකෝ.
අපි වපුරන දේවල් වල අස්වැන්න තමයි අපිට ලැබෙන්නේ.
හිතට ඇතුල්වෙන වැරදි අදහස් මුලින් උදුරා දාන්න පුලුවනි නම්..
සෑම මිනිසෙක්ම උතුම් මිනිසුන් වනු ඇත
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

Wednesday, May 30, 2018

Rangeela (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි


ඔන්න අද අමීර් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන් චිත්‍රපටයක් අරගෙන ආවා. කමෙන්ට්ස් වලින් ඉල්ලලා තිබ්බ චිත්‍රපටි අතුරින් මේක තෝරගත්තේ චිත්‍රපටය ලබා තිබූ සාර්ථකත්වය නිසයි. 1995 සැප්තැම්බරයේ තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය නිකුත් කෙරුණේ Romantic, Comedyලේබල් එක යටතේ.(කොමඩි නම් ලොකුවට නෑ) පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ram Gopal Varma විසින්. නිෂ්පාදනය කර තිබෙන්නේ Ram Gopal Varma සහ Jhamu Sughandවිසින්. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වලා තියෙන්නේ Aamir Khan (මුන්නා ලෙස), Jackie Shroff (කමල් ලෙස), Urmila Matondkar (මිලී ලෙස.) සංගීතය සපයා තිබෙන්නේ විශිෂ්ඨ සංගීතඥ A. R. Rahman විසින්. ඔහු මීට කලින් හින්දි හඬකවන ලද චිත්‍රපට වලට සංගීතයෙන් දායක වෙලා තිබුණත් මෙය හින්දියෙන්ම නිකුත් වන චිත්‍රපටයකට සංගීතයෙන් දායක වුන පළමු සිනමා පටයයි. සින්දු ටිකත් හොඳයි. විශේෂයෙන්ම “Kya Kare Kya Na Kare” සහ “Pyar Ye Jaane Kaisa” කියන සින්දුවයි මට නම් හොඳටම දැනුනා.
1995 ෆිල්ම් ෆෙයාර් සම්මාණ උළෙලේදී සම්මාණ හතක් දිනාගැනීමට සමත් වුනා. එනම්,
හොඳම සහය නළුවා – Jackie Shroff 
හොඳම නරථන නිර්මාණය – Ahmed Khan
හොඳම වේශ නිරූපණය – Manish Malhotra
හොඳම කතාව – Ram Gopal Varma
හොඳම සංගීතය – A. R. Rahman
RD Burman සම්මානය – Mehboob
ජූරියේ විශේෂ සම්මානය – Asha Bhosle, for “Tanha Tanha”
IMDb දර්ශකයේ තවමත් 7.5 ක අගයක රැඳී සිටීමට සමත්කම් දක්වා තිබෙන මේ චිත්‍රපටය ආදායම් අතින් ද සාර්ථක වෙමින් බ්ලොක්බස්ටර් ලේබල් එක අලවගන්න සමත්කම් දැක්වුවා.
දැන් කතාව ගැන බලමු. මුන්නා කියන්නේ දෙමව්පියන් අහිමි තනිව ජීවත් වන පුද්ගලයෙක්. නමුත් ඔහු නිතරම ගැවසෙන්නේ හොඳම යාලුවා, මිලීගේ ගෙදර. මිලීගේ දෙමව්පියොත් මුන්නාට ගොඩක් ආදරෙයි. මුන්නා ජීවත් වෙන්න කරන්නේ චිත්‍රපටි වල ටිකට් කලින් මිළදී ගෙන වැඩි ගානකට විකුණන එක. මම කලින් ගෙන ආව Ghulam චිත්‍රපටයේ වගේ ම දඩබ්බර චරිතයක් තමයි අමීර් ඛාන් මේ චිත්‍රපටයෙදිත් රඟදක්වන්නේ. එතකොට මිලීගේ හීනය තමයි චිත්‍රපට නිළියක් වෙන එක. චිත්‍රපට වලට සහය නර්ථනයෙන් දායකත්වය දක්වන කණ්ඩායමක් එක්ක නර්ථනයේ යෙදමින් කාලය ගත කරනවා. කුමාර් කියන්නේ සුපිරි චිත්‍රපට නළුවෙක්. කුමාර්ගේ චිත්‍රපටයකටත් නර්ථනයෙන් දායකත්වය දක්වන්න මිලී ට අවස්තාව ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි චිත්‍රපටයේ මුල් මිනිත්තු කිහිපය ගලාගෙන යන්නේ. එහෙනම් මේ චිත්‍රපටයත් බලලා ගුණ දොස් පවසන්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

Friday, April 20, 2018

Jai Lava Kusa (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි


හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! තවත් සුපිරි Action-Drama කාණ්ඩයට වැටෙන තෙළිගු සලරුවකට උපසිරැසියක් අරගෙන ආවා. අවුරුදු දවස් ටිකේ වැඩත් එක්ක සහ ලයින් 2000+ සෙට් වුන නිසා ටිකක් විතර පරක්කු වුනා උපසිරැසිය අරන් එන්න. ඒ නිසා වැඩි කතා බහ නැතුව චිත්‍රපටය ගැන බලමු..
2017 September 21 පටන් ප්‍රේක්ශකයන්ට විවෘත්ත වුන මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය  කර තිබෙන්නේ K. S. Ravindra. සංගීත අධ්‍යක්ෂණය  Devi Sri Prasad. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ ජනප්‍රිය නළු  NTR, සුරූපී නිළි Raashi Khanna සහ Nivetha Thomas. ඒ වගේම බොලිවුඩ් නළු  Ronit Royගේ තෙළිගු සිනමා ආගමනයත් සිදු වන්නේ මේ චිත්‍රපටයෙන්. Tamannaahත් එක් ගීතයකට නර්ථනයෙන් දායකත්වය දක්වලා තිබෙනවා. IMDb දර්ශකයේ දැනටත් 7.5 ක් වැනි ඉහළ අගයක රැඳී සිටින මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 129 ක ඇස්තමේන්තුගත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් ලබා තිබෙනවා.
දැන් කතාව ගැන බලමු. මේකෙදි NTR ත්‍රිත්ව චරිත රඟපානවා නිවුන් සහෝදරයෝ තුන් දෙනෙක් ලෙස. ජයි තමයි අයියා. ලවා සහ කුසා තමයි මල්ලිලා දෙන්නා. මෙයාලා තුන්දෙනාගෙම රඟපෑමේ හැකියාව නිසා පොඩි කාලෙදිම මෙයාලගේ මාමා මේ තුන්දෙනාව යොදාගෙන නාට්‍යය රඟදක්වනවා. ගොඩක් වෙලාවට රඟදක්වන්නේ රාමාගේ කතා පුවත. ඒ නිසාම ඒ අයට ගමේ හොඳ ප්‍රසිද්ධියක් ලැබී තිබුණා. තුන්දෙනාම එකවගේ වුනාට මොකද ජයිගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. එයා කතා කරද්දි ටිකක් ගොතගැහෙනවා. ඉතින් මේ අඩුපාඩුව නිසා ජයිට ලැබෙන්නේ දෙබස් නැති සුළු චරිත. ඒ නිසා ගමේ අයගේ පැසසුම ලැබෙන්නේ ලවාට සහ කුසාට. වීරයාගේ චරිතය ලැබෙන්නේ නැති නිසා සහ ගමේ අයගේ ප්‍රසංශාව ලැබෙන්නේ නැති නිසා ජයි ඉන්නේ හිත් අමණාපයෙන්. ඒ අතරේ එයාට දැනගන්න ලැබෙනවා රාමාගේ කතාවේ එන දුෂ්ඨයා නොහොත් රාවණා ගැන. ඉතින් එයාට හිතෙනවා රාවණාට වුන දේවල්වල හැටියට රාවණා කළදේ හරි කියලා. ඔය අතරේ දවසක් නාට්‍යයක හනුමා ගිනි අවුලන දර්ශනයකදී කෘතිමව ඇති කරපු ගින්න වැඩි කරලා, මෙයාගේ හිතේ ගින්න පිට කරනවා. මේකෙන් මහා ගින්නක් ඇති වෙනවා. මේ මහා ගින්නට සහෝදරයෝ තුන් දෙනාම මැදි වෙනවා. මේ අවස්තාවෙන් පස්සේ මේ අය විසිරෙනවා. ඊට පස්සේ ඉතින් අර එක ගහේ හිටිය කුරුළු පැටවු දෙන්නා පැති දෙකකට වැටිලා වුන වැඩේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඔය කිව්වේ මුල් විනාඩි දහයේ සිද්ධ වෙන කතාව. මේ සිදුවීමෙන් අවුරුදු 20කට පස්සේ කතාව තමයි මෙතනින් එහාට දැකගන්න ලැබෙන්නේ.
අවුරුදු 20කට පසු…
කුසා :- සුපිරි හොරෙක්, කපටියෙක්, මංකොල්ලකාරයෙක්, කොහොමහරි ඇමරිකාවට පැන ගන්න සල්ලි හොයන හොරෙක්. අවසානයේදි තමයි මෙයාට අමාරුම හොරකම ලැ⁣බෙන්නේ. 😛
ලවා :- මහන්සි වෙලා ඉගෙනගෙන සාධාරණව වැඩ කරන, පොඩි දේටත් හිත උණුවෙන, අහිංසක බැංකු කළමණාකරුවෙක්.
ජයි :- පොඩි කාලේ ඇලුම් කළ රාවණා අනුගමනය කරමින් තමන්ටම කියා නමක් හදා ගත් කුරිරු පාළකයෙක්. විරුද්ධවන්නන්ට අවස්ථා දෙකක් නොදෙන, ඒකාධිපතියෙක්.
ඉතින් මේ තුන්දෙනාගේ කතාව ගැළපිලා යන්නේ කොහොමද? ඇත්තටම මේකේ කතාව මොකක්ද? ගෑණු පරාණ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ සහෝදරයෝ ගොඩක් වෙනස් වෙලාද? සහෝදරයෝ නැවත මුණගැහෙන්නේ කොහොමද? ඒවා ඉතින් චිත්‍රපටය අරගෙන තමයි බලන්න වෙන්නේ. ඒ කොටස ඔබට බාරයි. 
“අන් අයගේ අඩු ලුහුඩු දකින්නේ නැතුව එ් අය තුළ ඇති ගුණය දකින්න. අහිංසක මිනිසුන් රාක්සයන් නොවනු ඇත”.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

අලුත්ම ලිපි

Play Back (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

  ආයුබෝවේවා! අද ඇවිත් ඉන්නේ Thriller/Fantasy ගණයට අයිති වන සුපිරි තෙලුගු ෆිලුමකට උපසිරැසි අරගෙනයි. මුලින්ම කියන්න ඕනේ දෙපාරක් නොහිතා චිත්‍රප...

වැඩිම දෙනෙක් බලපු ලිපි